තැනින් තැන හමුවන කොරෝනා ආසාදිත වු පාසැල් සිසුන්..අවධානම තවත් ඉහළට.

Covid-19 Hatton Education Galle
By Thaya Jan 29, 2021 06:45 AM GMT
Thaya

Thaya

Report

කොවිඩ් ආසාදිතයින් කිහිපදෙනෙකු හමුවීම හේතුවෙන් හැටන් බොස්කෝ විද්‍යාලය අද (27) සිට තාවකාලිකව වසා දැමීමට කටයුතු කර තිබේ.

ඒ, එම විද්‍යාලයේ කොවිඩ් ආසාදිත සිසුවෙකුගේ ආශ්‍රිතයින් වූ සිසුන් 37දෙනෙකු සහ ගුරුවරුන් 14 දෙනෙකු අතරින් සිසුන් 9දෙනෙකු සහ ගුරුවරුන් දෙදෙනෙකු කොවිඩ් ආසාදිතයන් ලෙස PCR වාර්තාවලින් හඳුනාගැනීමත් සමගයි.

බොස්කෝ විද්‍යාලයේ ආසාදිතයෙකු ලෙස මුලින් වාර්තා වූ සිසුවාට කොවිඩ් ආසාදනය වී තිබුණේ හැටන් හයිලන්ඩ්ස් විද්‍යාලයේ ආසාදිත සිසුන්ගේ ආශ්‍රිතයෙකු ලෙස හඳුනාගෙන සිටියදීය.

බොස්කෝ විද්‍යාලයේ මුල් සිසුවාගේ මවටත් වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය වී තිබේ.

ඇය හැටන් කලාප අධ්‍යාපන කාර්යාලයේ සේවයේ නිරතව සිටීම නිසා එම කාර්යාලයේ සෙසු නිලධාරීන්ට හා සේවකයින්ටත් නැවත දැනුම් දෙන තුරු සේවයට වාර්තා නොකරන්නැයි පාලනාධිකාරිය දැනුම් දී තිබේ.

එමෙන්ම ආසාදිතයන් ලෙස මින් පෙර හඳුනාගැනුණු හැටන් හයිලන්ඩ්ස් විද්‍යාලයේ එකම පවුලේ දරුවන් දෙදෙනාගේ මිත්තණියටත් වෛරසය ආසාදනය වී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තහවුරු කර තිබේ.

හයිලන්ඩ්ස් විද්‍යාලයේ ආසාදිත සිසුන් දෙදෙනාගේ ආශ්‍රිතයින් වූ සිසුන් 37ක් සහ ආචාර්ය මණ්ඩලයේ 12 දෙනෙකු මේ වන විට ස්වයං නිරෝධායනයට ලක්වෙමින් සිටී.

මේ අතර, ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ 3වන ශ්‍රේණියේ ගුරුවරියක් පෞද්ගලික රෝහලකින් සිදුකරගනු ලැබූ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකදී ආසාදිත බවට තහවුරු වීමෙන් පසු එම විද්‍යාලයේ 3 වැනි ශ්‍රේණියේ පංති 6ක් තාවකාලිකව වසා දැමුණි.

එම විද්‍යාලයේ 3වන ශ්‍රේණියේ ගුරුවරුන්ට ස්වයං නිරෝධායනයට යොමු වන ලෙස බලධාරීන් දැනුම් දී ඇත.