අළුත්ගම විවාහ මංගල්‍ය උත්සවයේ කොරෝනා පොකුර තවත් ඉහලට

corona aluthgama
By Thaya Jan 03, 2021 01:28 PM GMT
Thaya

Thaya

Report

පෑලියගොඩ නව මැනිං වෙළඳපොලේ සිදුකළ PCR පරීක්ෂණ වලදී කොවිඩ් 19 අසාදිතයින් 07 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

මේ අතර ආසාදිතයින් පිරිසක් වාර්තා වූ අළුත්ගම විවාහ මංගල්‍ය උත්සවයේ පිරිස අතරින් තවත් 21 දෙනෙකුට කොවිඩ් 19 වැලඳී ඇති බව හඳුනාගෙන තිබෙනවා.

කොවිඩ් 19 ආසාදිතයින් 557 දෙනෙකු ගතවූ දිනය තුළ හඳුනාගත් අතර ඉන් දෙදෙනෙක් විදේශගතව සිට පැමිණි පුද්ගලයින්.

ඒ සමඟ මෙරටින් වාර්තාවන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 43,856 දක්වා ඉහළ ගියා.

මිනුවන්ගොඩ පොකුරෙන් ආරම්භ වූ කොවිඩ් දෙවන රැල්ලේ ආසාදිතයින් සංඛ්‍යාවද 40,000 ඉක්මවා ඇති අතර එම අසාදිතයින් සංඛයාව මාස තුනක් වැනි කෙටි කාලයකදී වාර්තා වීම විශේෂත්වයක්.

කොවඩ් දෙවැනි රැල්ල ආරම්භ වීමට පෙර මෙරටින් වාර්තා වී තිබුණේ ආසාදිතයින් 3,700කට ආසන්න පිරිසක් පමණයි.

ගතවූ දිනය තුළ හඳුනාගත් ආසාදිතයින් 557 දෙනා අතරින් 192ක් වූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව වාර්තා වූයේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.

කොළඹ මහා නගර සභා සීමාවෙන් වාර්තා වී තිබුණේ ආසාදිතයින් 96 දෙනෙකු පමණයි.

ඊට අමතරව නාරාහේන්පිට ප්‍රදේශයෙන් ආසාදිතයින් 26ක් සහ මට්ටක්කුලිය ප්‍රදේශයෙන් ආසාදිතයින් 35ක් වාර්තා වුණා.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 127 ක් වාර්තා වූ අතර ඊට දිවුලපිටිය ප්‍රදේශයෙන් වාර්තා වූ ආසාදිතයින් 19 දෙනෙක්ද ඇතුලත්.

ඊට අමතරව කළුතර දිස්ත්‍රික්කයෙන් 61ක් සහ ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 38ක් වාර්තාවුණා.

මේ අතර තවත් කොවිඩ් මරණ 04 ක් වාර්තා වීමත් සමඟ මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 208 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එලෙස ජීවිතක්ෂයට පත්වූණේ අළුත්ගම - දර්ගා නගර ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි කාන්තාවක්, අගලවත්තේ පදිංචි 65 හැවිරිදි පුද්ගලයෙක්, අලයාඩිවෙබ්බු ප්‍රදේශයේ පදිංචි 67 හැවිරිදි පුද්ගලයෙක් සහ කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි 91 හැවිරිදි කාන්තාවක්.

මේ අතර පෑලියගොඩ නව මැනිං වෙළෙඳපොලේ සිදුකළ PCR පරීක්ෂණ 113ක් අතරින් ආසාදිතයින් 07 දෙනෙකු හඳුනා ගෙන තිබෙනවා.

ඒ අනුව ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වෙළෙඳුන් දැනුවත් කිරීම සඳහා එම පරිශ්‍රෙය්දී විශේෂ සාකච්ඡාවක් අද පෙරවරුවේ පැවැත්වුණා.

ඒ කැලණිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් ඩයස් සහ කැලණිය ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය චන්දිමා වික්‍රමගේ යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන්.

මේ අතර අලුත්ගම ප්‍රදේශයේ පැවති විවාහ මංගල්‍ය උත්සවයකට සහභාගීවූ තවත් පුද්ගලයින් 21 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙනවා.

ඔවුන් පයාගල - පොතුවිල ප්‍රදේශයේ පදිංචිකරුවන්.

අදාළ විවාහ මංගල්‍ය උත්සවය පසුගිය දෙසැම්බර් මස 16 වැනිදා පැවති අතර මීට පෙර මනාලිය ඇතුළු 26 දෙනෙකුටද වෛරසය ආසාදනය වුණා.

ඒ අනුව මංගල උත්සවයට සහභාගී වූ 47 දෙනෙකුට මේ වන විට වෛරසය වැලඳී තිබෙනවා.

මේ අතර ත්‍රිකුණාමලය නගරය මධ්‍යයේ පිහිටි මැද පාරේ ව්‍යාපාරික ස්ථානවල සේවකයින් සඳහා අහඹු ලෙස සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ මගින් ආසාදිතයන් හත්දෙනෙකු හඳුනා ගැණුනා.

ඒ සමඟ එම ප්‍රදේශයට සංචරණ සීමා පනවා තිබෙනවා.

මේ අතර පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කොට්ඨාසයෙන් තවත් කොවිඩ් 19 ආසාදිත රෝගීන් 08 දෙනෙකු වාර්තා වුණා.

පාදුක්ක උඩුමුල්ල ප්‍රදේශයේ ඇගළුම් කර්මාන්ත ශාලාවේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් 05 දෙනෙකු සහ ගලගෙදර නැගෙනහිර ග්‍රාම නිළධාරී වසමේ පුද්ගලයින් 03කු මෙලස හඳුනා ගෙත තිබෙනවා.

ප්‍රදේශයේ පවතින කොවිඩ් අවදානම හේතුවෙන් පාදුක්ක සතිපොල නැවත දැනුම් දෙනතුරැ වසා දැමිමට සීතාවක ප්‍රාදේශීය සභාව පියවර ගත්තා.

මේ අතර විරකැටිය - යක්ගස්මුල්ල සහ මුල්ලේගොඩ ගම්මාන දෙකෙන් කොවිඩ් 19 අසාදිතයින් 18 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ එම ප්‍රදේශවලට සංචරණ සීමා පනවා තිබෙනවා.

එම ආසාදිතයින් හඳුනා ගෙන ඇත්තේ PCR පරීක්ෂණ 60 ක් අතරින්.

මේ අතර පොලොන්නරුව - ගල්ලෑල්ල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පසුගිය 31 වැනිදා අළුයම පැනගිය රැඳවියන් 05දෙනා අතරින් සිව්දෙනෙකු මෙතෙක් අත්අඩංගුවට ගැනීමට හැකි වී නැහැ.

මේ අතර බස්නාහිර පළාතෙන් පිටවන්නන් සඳහා සිදුකළ රැපිඩ් ඇනටිජන් පරීක්ෂණවලින් අසාදිතයින් සංඛයාව 102 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ ඊයේ සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලින් ආසාදිතයින් 05 දෙනෙකු හඳුනා ගැනමත් සමඟයි.

මේ අතර දිවයිනට පැමිණි යුක්රේන සංචාරකයින් පිරිස මතර, මිරිස්ස ධීවර වරායට පැමිණ තල්මසුන් නැරඹීම සඳහා පිටත්ව ගියා.

අදාළ සංචාරක කණ්ඩාමේ පස්දෙනෙකු කොවිඩ් 19 ආසාදිත බව මීට පෙර හඳුනා ගෙන තිබුණා.