කොවිඩ් ආසාදිත මිතුරිය දින 5ක් නිවසේ තියාගත් සිසු මිතුරියට විදුහලෙන් පැසසුම්.

Covid-19 Education Galle
By Thaya Mar 01, 2021 06:11 PM GMT
Thaya

Thaya

Report

කොරෝනා රෝගයට ලක් වූ කෙනකු රැකබලා ගැනීමට තම සමීපතම ඥාතීන් පවා බියවන සමාජ වටපිටාවක් තුළ කොරෝනා රෝගයට ලක් වූ තමාගේ හොඳම මිතුරිය තම නිවසේ දින පහක කාලයක් රඳවා තබාගෙන ඇයට සියලු සත්කාර සිදු කළ දියණියක් පිළිබඳව ගාල්ල රිපන් බාලිකා විද්‍යාලයෙන් වාර්තා වේ. ගාල්ල, කලේගාන පදිංචි ගාල්ල රිපන් බාලිකා විද්‍යාලයේ හත්වන වසරේ ඉගෙනුම ලබන කේ.එච්. හංසනී යසෝධා නමැති ඇය කුඩා මිතුරියකි. ඇයගේ හොඳම මිතුරිය වන ඇයගේ පන්තියේ එකට ඉගෙනුම ලැබූ ගාල්ල සපුමල් පෙදෙස පදිංචි එච්.එන්. විශ්මි විහංගා ද යශෝධා මෙන්ම කුඩා මිතුරියකි. විශ්මි විහංගා දියණියගේ මවට හදිසි සැත්කමක් සිදු කිරීම සඳහා ඇය ගාල්ල නගරයේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීමට සිදුවිය.

එහිදී ගාල්ල රේවත පිරිවෙන්නේ ගුරුවරයකු වන ඇයගේ පියා තමන්ගේ එකම දරුවා වන විශ්මි විහංගා නතර කර යන්නේ ඇයගේ හොඳම මිතුරිය වන හංසනී යසෝධාගේ නිවසේ. විශ්මි විහංගා දියණියගේමවට සැත්කමට පෙර සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණයේ දී එම මව කොරෝනා ආසාදිතයකු බව හඳුනා ගැනුණ අතර, අනතුරුව ඇයගේ පියාට ද සිදු කළ පරීක්ෂණයේ දී ඔහු ද කොරෝනා ආසාදිතයකු බව තහවුරු කර ගෙන තිබිණි. ඔවුන් දෙදෙනාම ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමුකර අනතුරුව විශ්මි විහංගා දියණියට සිදුකළ පරීක්ෂණයේ දී ඇයට ද කොරෝනා රෝගය වැළඳී ඇති බව තහවුරු විය. ඇය ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත රැගෙන යන විට දින පහක කාලයක් ඇය හංසනී යසෝධා දියණියගේ නිවසේ ගතකර තිබිණි.

හංසනී යසෝධා දියණියත් ඇයගේ මව, පියා සහ සොහොයුරන් සියලු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදය අනුගමනය කරමින් කටයුතු කිරීම නිසා ඔවුන් කිසිවකුත් කොරෝනා වසංගතයට ලක් නොවිණි. හංසනී යසෝධා දියණිය සිදු කළ මේ උතුම් ක්‍රියාව අගය කරමින් ගාල්ල රිපන් බාලිකා විද්‍යාලයේ දී විශේෂ ඇගැයීමේ උළෙලක් සංවිධානය කර තිබිණි. එහි දී ගාල්ල දිස්ත්‍රික් බාලදක්ෂිකා සංගමය මගින් වසරක් පුරාවට අවශ්‍ය සියලු පාසල් උපකරණ ඇයට පරිත්‍යාග කෙරිණි. දකුණු පළාත් හිටපු බාලදක්ෂිකා කොමසාරිස් චන්ද්‍රිකා මල්කාන්ති, විදුහල්පතිනි එම්.එස්.ආර්. අයිරාංගනී යන මහත්මීන් අතින් එම උපකරණ ඇයට පිරිනැමිණි. මහජන සෞඛ්‍ය පරික්ෂක චිරන්ත ගුරුගේ මහතා ද ඇයගේ මේ උතුම් ක්‍රියාව අගය කරමින් විශේෂ ත්‍යාගයක් ඇයට පිරිනැමුවේය.

ReeCha