පොලිස් පහරදීමකින් පුද්ගලයෙක් මියගිය බවට පැමිණිල්ලක්

Police
By Thaya Apr 01, 2021 08:26 PM GMT
Thaya

Thaya

Report

මත්ද්‍රව්‍ය චෝදනාවකට අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ගල්කිස්ස පොලීසිය කළ පහරදීමක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවට ඔහුගේ ඥාතීහූ චෝදනා කරති. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ, සිද්ධිය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා මේ වන විටත් පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ ආරම්භ කර ඇති බවය. කළුබෝවිල පාසල් මාවතේ පදිංචි සුසන්ත දිසානායක නැමැති පුද්ගලයෙකු ගල්කිස්ස පොලීසිය විසින් පසුගිය මාර්තු 18 වනදා මත්ද්‍රව්‍ය චෝදනාවකට අදාළව අත්අඩංගුවට ගෙන තිබුණි. පසුගිය 19 වැනිදා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරු ඇප මත මුදා හැර තිබේ.

කෙසේවෙතත් තමන්ට පොලීසිය පහරදුන් බව පවසමින් අදාළ පුද්ගලයා 21 වැනිදා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව ප්‍රතිකාර ලබා 25 වැනිදා යළි නිවසට පැමිණ තිබුණි. අදාළ පුද්ගලයා 30වන දා අලුයම යළි රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබූ අතර ඊයේ (31) උදෑසන ඔහු මිය ගොස් තිබේ. පවුලේ ඥාතීන් චෝදනා කරන්නේ අත්අඩංගුවට පත්වූ අවස්ථාවේ පොලීසිය සිදුකළ පහරදීමක් හේතුවෙන් මෙම මරණය සිදුවූ බවය. දේහය පිළිබඳ මහෙස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ පස්වරුවේ සිදුකෙරුණි