ප්‍රදේශයක ආයතන රැසක් හදිසි පරීක්ෂාවකට

colombo gym saloon emergency inspection dry cleaning
By Sewvandhi May 06, 2021 02:04 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කායවර්ධන මධ්‍යස්ථාන, කොණ්ඩා කැපීම් සහ සැකසුම් ස්ථාන, රූපලාවන්‍යාගාර, වාහන අලුත්වැඩියා සිදුකරන ස්ථාන, ඇඳුම් පිරිසිදු කරන ස්ථාන සහ විවිධ සේවා සපයන ස්ථාන සම්බන්ධයෙන් ඊයේ (05) දිනයේදී විශේෂ පොලිස් මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ.

බස්නාහිර පළාත තුළ ඊයේ සවස 4 සිට රාත්‍රී 7 දක්වා කාලය තුළ එම මෙහෙයුම ක්‍රියාත්මක විය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ එවැනි ස්ථාන 2,103ක් පමණ පරීක්ෂා කළ බවය.

එහිදී එම ස්ථානවල සිටි පුද්ගලයින් 3,473 දෙනෙකු පරීක්ෂා කර ඇති අතර සෞඛ්‍ය උපදෙස් කඩකරමින් කටයුතු කළ 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. යම් ආයතනයක් පවත්වාගෙන යන්නේ නම් නිරෝධායන රෙගුලාසි අනුව ඔවුන් කටයුතු කළ යුතු බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

මේ අතර දිවයින පුරා ඊයේ සිදුකළ මෙහෙයුම්වලදී මුහුණු ආවරණ නොපැලඳීම් සහ දුරස්ථභාවය ආරක්ෂා නොකළ පුද්ලගයින් 238ක් පමණ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

මේ දක්වා අත්අඩංගුවට ගත් පිරිසෙන් 5,400කට අධිකරණවල නඩු පවරා ඇති බවත් එහිදී බොහෝ පිරිසක් වරදකරුවන් වී ඇති බවත් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

ඒ අනුව තවත් නඩු කිහිපයක් විභාග වෙමින් ඇති බවද ඔහු සඳහන් කළේය. නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මුහුණු ආවරණ පැලඳ සිටීම පමණක් ප්‍රමාණවත් නොවන අතර නියමිත සෞඛ්‍ය උපදෙස් අනුව එය පැලඳ සිටිය යුතු බවය.

එසේ නොවන අය සම්බන්ධයෙන් ද නීති මගින් කටයුතු කරන බව අජිත් රෝහණ මහතා පැවසීය. මේ වනවිට උත්සව, සාද හෝ වෙනයම් ආකාරයේ සංදර්ශන පැවැත්වීම සම්පූර්ණයෙන් තහනම් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join Now