මගුල් හා අවමගුල් නිවාස දෙපිරිසක් අතර ගැටුමක්.. 18ක් අත්අඩංගුවට...
දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් තිදෙනෙකු තුවාල ලබා රෝහල්ගතකර ඇති බව දඹුල්ල ප්‍රදේශයෙන් වාර්තාවනවා.
දඹුල්ල කණ්ඩලම කැප්පැල ප්‍රදේශයේ පැවති මල්වර උත්සවයකට සහභාගී වූ පිරිසක් සහ අවමංගල්‍ය උත්සවයකට සහභාගී වූ පිරිසක් අතර මෙම ගැටුම හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ගැටුම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් 18 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.
එහිදී මල්වර මංගල්‍යයට සහභාගී වූ පිරිසක් මත්පැන් පානය කර ගීත ගායනා කරමින් විනෝද වී ඇති අතර අවමංගල්‍ය උත්සවයට පැමිණි පිරිසක් එයට විරෝධය පළකිරීමත් සමගයි ගැටුම හටගෙන ඇත්තේ.
එහිදී මල්වර මංගල්‍යයට පැමිණි අයෙකු සහ අවමංගල්‍ය උත්සවයට පැමිණි දෙදෙනෙකු මෙලෙස තුවාල ලබා ඇති බවයි සඳහන් වන්නේ.
අත්අඩංගුවට ගත් පිරිස අද දින මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර දඹුල්ල පොලිසියයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.
රටම දැඩි අවදානම් තත්ත්වයක් තිබියදීත් සියලු නීති උල්ලංඝණය කරමින් ගම්මාන වල සිදු කෙරෙන මෙම කටයුතු නිසා ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාවට බරපතල තර්ජන එල්ල වන බවයි දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක පී එදිරිසිංහ මහතා සිද්ධිය සම්බන්ධයෙන් අදහස් පළකරමින් සඳහන් කළේ.
සිද්ධියෙන් අනතුරුව මල ගෙදර පිරිසටත් වැඩිවියට පත් වූ දැරියගේ සාද පැවැත්වූ පිරිසටත් පොලිසිය දැඩි ලෙස අවවාද කර ඇති බවයි වාර්තා වන්නේ.