ඉදිරි ජනාධිපතිවරණයට සමගි ජන බලවේගයෙන් තරග කරන පොදු අපේක්ෂකයා මෙන්න.

presidential election
By Thaya Jan 02, 2021 06:23 AM GMT
Thaya

Thaya

Report

ඉදිරි ජනාධිපතිවරණයට සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානයක පොදු අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් වන බව එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසනවා.

කොළඹ දී අද (30) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු තිස්ස අත්තනායක මහතා,

“සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන්, සමගි ජන බලවේගය නව ව්‍යවස්ථාවක්, කෙටුම්පතක් යටතේ සංවිධානය වෙන්න ඕනේ කියලා ගත්ත තීරණය තමයි, අපි 19 වන දා නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරලා මේ රටේ අලුත්ම දේශපාලන ව්‍යාපාරය බවට සමගි ජන බලවේගය පත්වෙලා තිබෙන්නේ. රටට තියෙන එකම විකල්පය සජිත් ප්‍රේමදාස මහතා සහ සමඟි ජන බලවේගයයි කියන එක අපි ඔප්පු කරමින් තිබෙනවා. සමගි ජන බලවේගයේ නව ව්‍යවස්ථාව අනුවම අපි තීරණය කර තිබෙන්නේ දුරකථනය අපේ ලාංඡනයයි. ඒකේ වෙනසක් නෑ. සමගි ජන සන්ධානයත් ගොඩනගනවා. සමගි ජන සන්ධානය අපි ගොඩනගන්නේ අපිත් එක්ක එකට වැඩ කරන මිත්‍ර පක්ෂවල ඒකාබද්ධ ව්‍යාපාරයකට ඉඩකඩක් ලබා දෙන්න. එකට වැඩ කරන්න. ඒ අතර පාඨලී චම්පික රණවක මහතා විතරක් ඔහු නියෝජනය කරපු හෙළ උරුමයෙන් ඉවත් වෙලා සමගි ජන බලවේගයට එකතු වෙන්න කැමැත්ත පළකරලා තිබුණා මහලේකම් තුමා හා නායක තුමා මුණ ගැහිලා. ඒ හැර අනෙක් සියලුම පක්ෂ එකට වැඩ කරනවා. සමගි ජන බලවේගයේ නායකයා පොදු අපේක්ෂකයා වියයුතුයි. ඒ පිළිබඳව අපිට මතභේදයක් නෑ. හැමෝම පිළිගන්නවා ඒකමතිකව සජිත් ප්‍රේමදාස මහතා තමයි ඒ සඳහා ඒ සඳහා ඉදිරිපත් විය යුත්තේ කියලා. “

නව ව්‍යවස්ථාව එක් අයෙකුට බලය ලබා දීමට වඩා රටේ ජනතාවට බලය ලබාදීම සඳහා නිර්මාණය කර ඇතැයි සමගි ජන බලවේගයේ, මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.