එන්නත් නොගත් අයට බස් ගාස්තුව දෙගුණ වෙයි ?

vaccination covid 19 vaccine card bus ticket gamunu wijerathna
By Sewvandhi Jul 31, 2021 07:49 AM GMT
Report

එක් එන්නතක් හෝ ලබානොගත් පුද්ගලයින් බස් රථවලට ඇතුළුවීමේ දී ඔවුන්ගෙන් සාමාන්‍ය බස් ගාස්තුව මෙන් දෙගුණයක් අයකර ගැනීමට සිදුවන බව ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

හෙට (01) සිට අන්තර් පළාත් බස්රථ ධාවනය ආරම්භ කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

ඔහු වැඩිදුරටත් පවසා සිටියේ, බස්රථ සඳහා ඇතුළුවීමේ දී කොවිඩ් එන්නත් ලබාගත් බවට තහවුරු කර ඇති එන්නත් කාඩ් පතෙහි ඡායා පිටපතක් මගීන් සතුව තිබිය යුතු බවය.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,

"ඩෙල්ටා වෛරසය හිස ඔසවමින් තිබෙනවා. ඒ නිසා අපේ වගකීමක් තියෙනවා සංගමයක් විදියට මේ සඳහා යෝජනාවක් ඉදිරිපත් කරන්න. මේ ගැන අද දිනයේ ප්‍රවාහන අමාත්‍යවරයාට හා ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම් දීමක් කරනවා. දුර සේවා බස්රථවල යෑමේ දී එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබාගත් වයස අවුරුදු 30 ට වැඩි සියලුම මගීන් එන්නත් ලබාගත් කාඩ් පතෙහි ඡායාරූපයක් අනිවාර්යෙන්ම රැගෙන ආ යුතුයි. ඡායාපිටපතක් අරගෙන තමයි බස්රථයට ගොඩවීමට අපි ඉඩදෙන්නේ. එහෙම නැතු වුණොත් ද්විත්ව ආසනයකට එක් අයෙකුට යන්න වෙන්නේ. එතකොට ගාස්තුව දෙගුණයක් ගෙවන්න වෙනවා. ඒ වගේම සුඛෝපභෝගී බස්රථ ආසනයට එක්කෙනා බැගින් ගෙනියනවා. ඒ බස්රථවලත් ඡායාපිටපත අනිවාර්යයි. අපි සැලසුම් කරනවා ආසනයෙන් එක් අයෙක් යනවා නම් ගාස්තුවෙන් එකහමාරක ප්‍රමාණයක් අය කරන්න."

මේ අතර ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති නීතිඥ කිංස්ලි රණවක මහතා පවසා සිටියේ, හෙට දින සිට සියලුම බස්රථ ධාවනයට එක්කරන බවය. අධිවේගි මාර්ගයේ බස්රථ ද හෙට සිට ධාවනයට එක්කරන බව ඒ මහතා පැවසීය. 

You may like this video-:



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now