සා පෙළ සිසුවා බිලි ගත් බස් රථ අනතුර

Accident
By Thaya Mar 11, 2021 09:39 PM GMT
Thaya

Thaya

Report

හොරොව්පොතාන කපුගොල්ලෑව මාර්ගයේ පළවෙනි කිලෝමීටර් කණුව ආසන්නයේ දී යතුරුපැදියක් බස්රථයක මුහුණට මුහුණ ගැටී අද (11) දහවල් සිදු වූ අනතුරකින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදියේ ගමන් ගත් පාසල් සිසුවෙකු හොරොව්පොතාන රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි හොරොව්පොතාන පොලිසිය කියයි. මෙලෙස මියගොස් ඇත්තේ හොරොව්පොතාන මොරගොඩ මූකලාන ප්‍රදේශයේ පදිංචිව සිට හොරොව්පොතාන රුවන්වැලි මධ්‍ය මහා විද්‍යාලයෙ 11 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටී මානික්කුලම්ලාගෙ කණිෂ්ක මධුවන්තද සිල්වා නැමැති 16 හැවිරිදි සිසුවෙකි. ඔහු ඊයේ (10) අවසන් වූ අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ඇති බව පොලීසිය කියයි. හොරොව්පොතාන නගරයේ සිට කපුගොල්ලෑව මාර්ගයේ වාගොල්ලාකඩ දක්වා ගමන්කර ඇති පෞද්ගලික බස් රථය එම මාර්ගයේ පලවෙනි කිලෝමීටර් කණුව ආසන්නයේ දී ඉදිරියෙන් එක පෙළට ගමන් ගත් ට්‍රැක්ටරයක් සහ කැබ් රථයක් පසුකර යාමට උත්සාහ කර ඇති බවත් ඒ මොහොතේ ඉදිරියෙන් යතුරුපැදියෙන් පැමිණ ඇති පාසල් සිසුවා බස් රථයේ මුහුණට මුහුණ වැදී ඇති බවත් පරීක්ෂණ පවත්වන පොලිසිය වැඩිදුරටත් කියයි. බස් රථයේ රියදුරු ගේ නොසැලකිලිමත් රිය ධාවනය හේතුවෙන් මෙම අවාසනාවන්ත අනතුර සිදුව ඇති බව පවසන පොලිසිය අනතුරෙන් සිසුවාගේ හිසට සිදුවූ බරපතළ තුවාල නිසා මෙම මරණය සිදුවන්නට ඇති බවට ද සැක කරයි. සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන අද (11) කැබිතිගොල්ලෑව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණ අතර ස්ථානීය මරණ පරීක්ෂණයද කැබිතිගොල්ලෑව මහෙස්ත්‍රාත් වරයා විසින් අද (11) සවස සිදු කිරීමට නියමිතය. – පැතුම් දර්ශන