රටක් හිනැස්වු බර්ටි අද රෝද පුටුවේ-ඇමති සුවදුක් විමසයි..

bertie laugh wheelchair
By Thaya Dec 25, 2020 11:30 AM GMT
Report

ප්‍රතිභාපූර්ණ හාස්‍යෝත්පාදන රංගධරයකු වන බර්ටි ගුණතිලක මහතාගේ සුව දුක් විමසීම සඳහා ජාතික උරුම,ප්‍රාසාංගික කලා හා ග්‍රාමීය කලා ශිල්පි ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පසුගිය දා රත්නපුර ගොඩකවෙල ගුණතිලක මහතාගේ නිවස ගොස් තිබේ..

ප්‍රතිභාපූර්ණ හාස්‍යෝත්පාදන රංග වින්‍යාසයන් ඔප් නංවා ගත් රංගවේදීන් අද සිටින්නේ අතළොස්සකි.ඒ අතරින් ‘බර්ටි ගුණතිලක’ යන නාමයට සුවිශේෂී ස්ථානයක් ලාංකීය රසික හදවත් තුළ රැව් පිළිරුව් දෙයි.

කුඩා කල පටන් ඉතා සරල දිවි පෙවතක් ගත කළ ගුණතිලකයන් පොදු ජනතාව සමඟ ජීවත්වීමේදී ඇසෙන දකින දේ ඇසුරින් වේදිකාව, රූපවාහිනිය, ගුවන් විදුලිය දෙවනත් කිරීමට තරම් අපූරු හාස්‍ය නිර්මාණ ඉදිරිපත් කිරීමට තරම් දක්ෂයකු වූවේ ය.

ඇනෙස්ලි ඩයස්, සැමුවෙල් රොද්‍රිගෝ, ගැමුණු විජේසූරිය, ජෝෂප් සෙනෙවිරත්න, ඇල්ෆ‍්‍රඩ් පෙරේරා හා මර්සි එදිරිසිංහ යන ප්‍රවීණයන් සමඟ එක් වී ඉදිරිපත් කළ හාස්‍ය නිර්මාණ තුළින් ලාංකික ප්‍රේක්ෂකයා නවමු සංධිස්ථානයකට ගෙන යාමට ගුණතිලකයන් සමත් වූවේය.

‘විනෝද සමය’ වැඩසටහන මඟින් ගුණතිලකයන් ඉදිරිපත් කළ ‘ඌ මට ගැහුවා මට ඌ ගැහුවා’යන කියමන අදත් සමාජයේ කොයි කා අතරත් ප්‍රකට කියමනක් වන්නේ ද ඔහුගේ හාස්‍යයේ ප්‍රභලතාව මනාව කියාපාමින් ය.

කලාව වෙනුවෙන් සිදුකළ මෙහෙවර උදෙසා රාජ්‍ය සම්මාන,විශිෂ්ට සම්මාන කලා කීර්ති, නාට්‍යශූරී, දේශබන්දු සහ කලාභූෂණ ආදී සම්මානයන් රැසකින් බර්ටි ගුණතිලකයන් පිදුම් ලැබුවේ ය.

කලා රසික සිත්සතන් පිනවමින් කලාවට ආඩම්බරයක් වූ මේ සොඳුරු මිනිසා අසනීප වන්නේ මුළු මහත් කලා ක්ෂේත්‍රයටම හිස් අවකාශයක් ඇති කරමිනි.

රටක් සිනහවෙන් පිනවූ මේ සොඳුරු මිනිසාට උපකාරයක් අවැසිම මොහොතක අපි ඔහුගේ නිවහනට ගොඩ වැදුනෙමු.

දශක ගණනාවක් කලා කෙත අස්වද්දා එහි අග්‍ර ඵල ලාංකික පාත්‍රවර්ගයාට බෙදා දුන් ‘බර්ටි ගුණතිලකයන්ට’ අප නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරන්නෙමු.