පුද්ගලයෙකුව පැහැර ගැනීම කැමරා කාචයේ සටහන් වූ අයුරු(VIDEO)

kidnap bandarawela aththalapitiya diyathalava amunudhova
By Sewvandhi May 11, 2021 11:00 AM GMT
Sewvandhi

Sewvandhi

Report

බණ්ඩාරවෙල, ඇත්තලපිටිය ප්‍රදේශයේ දී පුද්ගලයෙකුව යම්කිසි පිරිසක් විසින් පැහැරගෙන ගොස් තිබේ. ඊයේ (10) රාත්‍රී 8ට පමණ එය සිදුව ඇති අතර ප්‍රදේශවාසියෙක් පැහැරගැනීමට ලක්වු පුද්ගලයාගේ යතුරුපැදිය මාර්ගයේ බිම වැටී තිබිය දී දැක ඒ පිළිබඳ බණ්ඩාරවෙල පොලීසියට දන්වා ඇත.

ඒ අනුව සිදුකළ විමර්ශනයේ දී යතුරුපැදිය බිම වැටී තිබු ස්ථානය අසල නිවසක තිබු සීසීටීවි කැමරාවක යතුරුපැදියකින් ගමන්ගත් පුද්ගලයෙකු ත්‍රීරෝද රථයකින් හප්පා පළා යන අයුරු සනිටුහන්ව තිබුණි. පසුව යතුරුපැදිකරු බිම වැටෙන බවත් අදාළ ත්‍රීරෝද රථය නැවත හරවාගෙන විත් යතුරුපැදිකරුගේ හිසට බෑගයක් වැනි යමක් දමා බලහත්කාරයෙන් ත්‍රීරෝද රථයේ නංවාගෙන යන අයුරුත් එම දර්ශනවල සටහන්ව ඇත.

ඒ අනුව අද (11) උදෑසන බණ්ඩාරවෙල, අමුණුදෝව ප්‍රදේශයේ දී පැහැර ගැනීමට ලක්වු පුද්ගලයා මාර්ගයක් අසල සිහිසුන්ව වැටී සිටිය දී සොයා ගෙන තිබේ. පසුව එම පුද්ගලයා ව දියතලාව රෝහල වෙත ඇතුළත් කර ඇති අතර ඔහුගේ පාදයකට බරපතළ තුවාල සිදුව ඇතැයි ද අප වාර්තාකරු පැවසීය.

එලෙස තුවාල ලබා ඇත්තේ එම ප්‍රදේශයේ එළවළු වෙළෙඳාමේ නිරතව සිටින පුද්ගලයෙක් බවත්, වෙළෙඳසැල වසා නිවෙස බලා පැමිණෙමින් සිටිය දී එම සිදුවීමට මුහුණ පා ඇති බවත් අනාවරණය වී තිබේ.

අනතුරට පත් වු පුද්ගලයාගේ බිරිඳ සඳහන් කර සිටියේ තම ස්වාමිපුර්ෂයා සතුව තිබු රත්‍රං ආභරණ සියල්ල හොරකම් කර ඇති බවය. බණ්ඩාරවෙල පොලීසිය සිදුවීම පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join Now