පොල් ඉඩම්වල වැලි , පස් හා මැටි කැපීමේ තහනම සාර්ථකයි...

Coconut Lands
By Thaya Jan 21, 2021 02:09 PM GMT
Thaya

Thaya

Report

පොල් ඉඩම් විනාශ කරමින් මහා පරිණාමයෙන් සිදු කෙරමින් තිබු වැලි, පස්, හා මැටි කැපීමේ ජාවාරම මේ වනවිට මුළුමනින්ම නවත්වා ගැනීමට හැකියාව ලැබී ඇතැයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා දැනුම්වත් කර තිබේ.

පසුගිය දිනවල වයඹ පළාතේ කුරුණෑගල හා පුත්තලම දිස්ත්‍රික්කවල මෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවලින් ද පොල් ඉඩම් මිලට ගනිමින් කිසියම් පිරිසක් මෙම ජාවාරම පවත්වාගෙන ගියේය. මෙම තත්ත්වය නිසා සාරවත් පොල් ඉඩම් පවා මිල දී ගෙන ඒවායේ ඩොසර් යොදාගනිමින් වැලි , පස් හා මැටි කැපීම සිදු කර ගෙන ගියේය.

අපේක්ෂිත වාර්ෂික පොල් අස්වැන්න පවා මෙරටට අහිමි වන තත්ත්වයක් මේ නිසා උද්ගත වු අතර පොල් මිල ද වෙළෙඳ පොලේ සීග්‍ර ලෙස ඉහළ යාමිට එයද බලපෑවේය.

එමනිසා පොල් ඉඩම් වල වැලි , පස් හා මැටි කැපීම සඳහා බලපත් නිකුත් කිරීම වහාම අත්හිටුවන ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා භූ විද්‍යා පතල් කාර්යාංශයේ සභාපති අනුර වල්පොළ මහතාට උපදෙස් දුන්නේය.

ඒ අනුව පොල් ඉඩම්වල වැලි කැණීම් කටයුතු තහනම් කරන ලද කිසියම් අයෙක් වැලි කැණීමක් කරන්නේ නම් ඒ සඳහා පොල් සංවර්ධන මණ්ඩලයේ අනුමැතිය ඉදිරිපත් කිරීම අනිවාර්ය කරනු ලැබීය. එහි ප්‍රතිපලයක් වශයෙන් ගත වු මාස දෙක තුළ පොල් ඉඩම්වල වැලි, මැටි හෝ පස් කැපීමට අවසර ඉල්ලා එකදු බලපත්‍රයක් හො නිකුත් නොකළ අතර ඒ සඳහා ඉල්ලීම් ද ඉදිරිපත් ව නැත.

එමෙන්ම පසුගිය කාලය තුළ නීතිවිරෝධී අයුරින් පොල් ඉඩම්වල වැලි කැණීම් කළ පුද්ගලයින්ට එරෙහිව මහජනතාව ද නැගී සිටි අවස්ථා වාර්තා විය.

මේ අන්දමට වයඹ පළාතෙන් ආරම්භ වු පොල් ඉඩම්වල වැලි කැණීමේ ජාවාරම දිවයිනේ සෙසු ප්‍රෙද්ශවලටද ව්‍යාප්ත වන්නට විය. නමුත් මේ වනවිට එම තත්ත්වය මුළුමනින්ම පාලනය වී ඇති අතර පරිසර අමාත්‍යංශය විසින් ක්‍රියාත්මක කරන ලද වැඩ පිළීවෙළින් සාර්ථක ප්‍රතිපල අත් වී තිබේ.