රන්ජන්ට නිදහස ඉල්ලා නිවේදනයක්

ranjan ramanayake karu jayasooriya apiol president rajapaksha
By Sewvandhi Jul 02, 2021 12:52 PM GMT
Sewvandhi

Sewvandhi

Report

අධිකරණයට අපහාස කිරිමේ වරදට වසර 04ක කාලයක් සිර දඬුවම් විදින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමණායකට නිදහස ලබා දෙන ලෙස ඉල්ලා සාධාරණ සමාජයක් උදෙසා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසුරිය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ජනප්‍රිය රංගන ශිල්පියෙක් මෙන්ම සම්මානනීය නළුවෙකු වන රන්ජන් රාමණායක සම්බන්ධයෙන් නිකුත් කර ඇති ලිපිය පහතින් දැක්වේ… රන්ජන් රාමනායක මහතා පිළිබදව අද අප විශේෂ අවධානයක් යොමුකරන්නේ ඒ නිසයි. රන්ජන් රාමනායක කියන්නේ දකුණු ආසියාවෙම ප්‍රසිද්ධියක් ලබා ඇති ජනප්‍රිය රංගන ශිල්පියෙක්.

අප දන්නා තරමට ඔහු චිත්‍රපට සියයකට ආසන්න සංඛ්‍යාවක රගපා තිබෙනවා. සරසවිය හා OCIC යන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සිනමා සම්මාන උලෙළවල හොදම නළුවා ලෙස ඔහු සම්මානයට පාත්‍රව තිබෙනවා. ඒ වගේම පසුගිය වසර ගණනාවකම ඔහු ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම නළුවා ලෙස සම්මාන දිනාගෙන තිබෙනවා.ඒ වගේම චිත්‍රපට ගණාවක්ම ඔහු විසින් අධ්‍යක්ෂණය කර තිබෙනවා.

පුද්ගලයෙක් වශයෙන්ද ඔහු ඉතාමත් නිහතමානී අයෙක් වනවා. මේ රටේ නිතර අසන්නට ලැබෙන වංචා දූෂණ කිසිවෙකට හෝ ඔහු හවුල්වී ඇති බවක් අප අසා නෑ. ඒ වගේම ඔහු අපරාධකරුවෙක් ද නොවේ. ඒ අනුව ඔහු අද පත්ව සිටින ඉරණම පිළිබදව අපද අවධානය යොමුකරනවා. අධිකරණයට ඔහු විසින් සිදුකරන ලැබුවේය කියන අපහාසයට මේ වන විටත් ඔහු වන්දි ගෙවා තිබෙනවා.

ඒ ගැන අප ප්‍රශ්ණ කරන්නට යන්නේ නෑ. නමුත් ඔහුට ලැබී තිබෙන දඩඬුවම මෙතරම් බරපතළ වියයුතුව තිබුණේද කියන ප්‍රශ්ණය සමාජය තුළ තිබෙනවා. අධිකරණ ක්ෂේත්‍රය තුළත් ඒ පිළිබදව සංවාදයක් පවතිනවා. මෙවැනි වරදවලට අනෙකුත් ප්‍රජාතන්ත්‍රවාදී රටවල, විශේෂයෙන් ඉන්දියාවේ ශේෂ්ඨාධිකරණය මගින් මේ මෑතකදීත් ලබාදී තිබෙන දඩුවම් පිළිබදව සලකා බැලිමේදීත් මෙම කරුණට අදාලව සංවාදයක් අප රටතුළ ඇතිවීම යහපත් දෙයක් ලෙස අප සලකනවා.

ඒ කෙසේ නමුත් අප දන්නා අකාරයට මේ වනවිට රන්ජන් රාමනායක මහතා බන්ධනාරය තුළ කල්ගෙවන්නේ යහපත් සෞඛ්‍ය තත්වයකින් නොවේ. ඒ නිසා ඔහුට ලබාදී ඇති මෙම දඩුවම පිළිබදව මානුශිකත්වයෙන් යුතුව නැවත සලකා බලන්න යැයි අප සියළුම පාර්ශවයන්ගෙන් ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටිනවා.

ගරු ජනාධිපතිතුමාගෙන් මෙහිදී අප ඉල්ලා සිටින්නේ ඒ ගැන අවධානය යොමුකරවන ලෙසයි. බොහෝ අයට අදාළව උණුවී ඇති එතුමාගේ හිත රන්ජන් රාමනායකට අදාළවද උණුවෙත්වා යයි එහිදී අප ප්‍රාර්ථනා කරනවා. ජනාධිපති සමාව යටතේ එතුමාට ගතහැකි නීත්‍යානුකූල ක්‍රමවේදයන් හා සම්ප්‍රදායන් යොදාගනිමින් ඒ පිළිබදව සලකාබලන ලෙස අප ඉතාමත්ම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. මෙය රන්ජන් රාමනායක මැතිතුමා වෙනුවෙන් ජනතාව අතරින් එන අභියාචනයක් ලෙස සලකා බලන ලෙස ඉල්ලා සිටිනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha