එන්නත් ලබාගත් ජනතාවට පණිවුඩයක්
කොවිඩ් -19 ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ දෙවන මාත්‍රාව ලබාදීම සඳහා අවශ්‍ය ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ප්‍රමාණය කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට පියවර ගන්නා බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ ඒ සඳහා රටවල් කිහිපයක් සමඟ මේ වනවිටත් සාකච්ඡා පවත්වා ඇති බවය. ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා ලක්ෂ 6ක පමණ ප්‍රමාණයක් දෙවන මාත්‍රාව ලබාදීම සඳහා අවශ්‍යව පවතී.
රූපවාහිනී වැඩසටහනක් සමඟ එක්වෙමින් විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළේ අදාළ එන්නත් ප්‍රමාණය කඩිනමින් ලබා ගැනීමට පියවර ගන්නා බවය. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති, විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, එන්නත් ලබාගත්ත ද වෛරසයට ඔරොත්තු දීමේ හැකියාව සිරුරේ වර්ධනයවීමට යම් කාලයක් ගත වන බැවින් දැනට ක්‍රියාත්මක සෞඛ්‍ය මාර්ගෝපදේශ එලෙසම අනුගමනය කිරීම අනිවාර්ය බවය.
කොවිඩ් මර්දන එන්නත ලබා ගත්තද එමගින් සම්පූර්ණයෙන් වෛරසයෙන් ආරක්ෂාවීමක් සිදු නොවන බවද ඔහු එහිදී පැවසීය. විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා,
"මේ එන්නත් ගත්ත අය හිතන්න එපා අපිට දැන් ආරක්ෂාවක් තියෙනවා කියලා. සති 2ක් යනකම් ඔබ පරණ හිටපු මට්ටමේම තමයි ඉන්නේ. ඒ නිසා ගෙවල්වලින් එළියට බහින්න නම් එපා. එන්නත ගත්ත එකේ ප්‍රයෝජනයවත් ගන්න හම්බවෙන්නේ නෑ.පළවෙනි එක ගත්තත් දෙවනි එක ගත්තත් කොවිඩ් හැදෙන්න පුළුවන්. බැහැයි හැදෙනවා කියන එකේ නිර්වචනය වෙනස්. මේ දක්වා තියෙන දත්තවලට අනුව එන්නත් දෙකම ගත්ත 15 දෙනෙක් මැරිලා තියෙනවා කොවිඩ්වලින්, ලෝකයේම."