ශ්‍රී ලංකාවට චෝදනා පිට චෝදනා... සම්බාධක පනවන්නත් යෝජනාවක්...!!!

Sri Lanka
By Thaya Jan 29, 2021 06:47 AM GMT
Thaya

Thaya

Report

ශ්‍රී ලංකාව තුළ මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් ප්‍රමාණවත් පියවර නොගැනීම එවැනි ක්‍රියා අඛණ්ඩව සිදුවීමට හේතුවී ඇති බවට ජගත් මානව හිමිකම් මහ කොමසාරිස් මිශෙල් බැෂ්ලේ මහත්මිය චෝදනා කරනවා.

මුක්තිය අඩුවීම / හමුදාකරණය වැඩිවීම සහ විවිධ ජන කොට්ඨාශ පදනම් කරගත් හිංසන ඉහළ යාමට එය හේතුවී ඇති බවයි ඇය පෙන්වා දෙන්නේ.

ජගත් මානව හිමිකම් කවුන්සිලයේ මීලග සැසි වාරයට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කිරීමට නියමිත වාර්තාවේ මූලික කෙටුම්පත එළි දක්වමිනුය මානව හිමිකම් කොමසාරිස්වරිය මේ බව අවධාරණය කරන්නේ.

මානව හිමිකම් කඩ කිරීම් සම්බන්ධයෙන් වරදකරුවන් බවට ඔප්පුවූ පුද්ගලයන්ට එරෙහිව සම්බාධක පැණවිය යුතු බවටත් / සංචාරක තහනම් පැණවිය යුතු බවටත් මහ කොමසාරිස්වරිය යෝජනා කරනවා.

යුද්ධය අවසන්වී වසර 12 ක් ගතවී ඇතත් චෝදනාවලට ලක්වූවන්ට එරෙහිව මේ දක්වා ප්‍රමාණවත් පියවරක් ගෙන නොමැති බවයි මිෂෙල් බැෂ්ලේ මහත්මියගේ ස්ථාවරය වී ඇත්තේ.

පසුගිය වසරේ සිට මේ දක්වා ජනාධිපතිවරයා විසින් හමුදා නිළධාරීන් 28 දෙනෙකු රජයේ ඉහළ පරිපාලන තනතුරුවලට පත්කර තිබීමද මානව හිමිකම් මහ කොමසාරිස්වරියගේ දැඩි දෝෂදර්ශනයට ලක්වී තිබෙනවා.

වත්මන් යුධ හමුදාපති සහ ආරක්ෂක ලේකම් තනතුරුද ඒ අතර වනවා.

එමෙන්ම 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම තුළින් ජනාධිපතිවරයාගේ විධායක බලතල පුළුල් කිරීමට කටයුතු කර ඇති අතර, 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් අත්කරගත් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමේ පියවර ආපසු හැරවීමට කටයුතු කර ඇති බවයි මානව හිමිකම් කොමසාරිස්වරිය සඳහන් කරන්නේ.

එමගින් මානව හිමිකම් කොමිසම, මැතිවරණ කොමිසම, පොලිස් කොමිසම සහ අධිකරණ කොමිසම ආදී ප්‍රධාන කොමිෂන් සභාවල මෙන්ම අනෙකුත් ආයතනවල ස්වාධීනත්වය ගිලිහී ගොස් ඇති බවයි ඇය සඳහන් කළේ.

2030 තිරසාර සංවර්ධන ඉලක්ක යටතේ සියල්ලටම මානව හිමිකම් සුරක්ෂිත කිරීමට බහුවිධ පරිපූර්ණ දර්ශනයකින් යුත් ශ්‍රී ලංකාවක් උදෙසා ක්‍රියාකාරීව කටයුතු කරන ලෙස ජගත් මානව හිමිකම් කොමසාරිස්වරිය සිය නිර්දේශ ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළා.

සියලූ ආකාරයේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ විමර්ශනය කොට වගකිව යුත්තන්ට නීතිමය පියවර ගැනීමද ඇයගේ නිර්දේශයක්.

මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ චෝදනා ලබා සිටින පුද්ගලයින් රාජ්‍ය යාන්ත්‍රණයේ තනතුරුවලින් ඉවත් කරන ලෙසත්, මානව හිමිකම් කොමිසම ඇතුළු කොමිෂන් සභාවල ස්වාධීනත්වය ශක්තිමත් කිරීමට පියවර ගන්නා ලෙසත්, ජගත් මානව හිමිකම් කොමසාරිස්වරිය සිය වාර්තාව මගින් නිර්දේශ කරනවා.