වසර 03 කට පසු අමෙරිකාව යළිත් ජගත් මානව හිමිකම් කවුසිලයට...ශ්‍රී ලංකාවට බලපෑමක් එල්ල කරයි ද?

US
By Thaya Feb 09, 2021 10:05 PM GMT
Thaya

Thaya

Report

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සමග යළි එක්වීමට අමෙරිකාව තීරණය කළා. ඒ බව නිවේදනය කළේ එරට නව රාජ්‍ය ලේකම්වරයා වන ඇන්ටනි බ්ලින්කන් විසින්. ඒ අනුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සියෙන් ඉවත්වීමට ට්‍රම්ප් පරිපාලනය ගත් තීරණය අමෙරිකාවේ නව ජනාධිපති ජෝ බයිඩ්න්ගේ පාලන තන්ත්‍රය විසින් යළි හරවා ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ. ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් සහ සමානාත්මතාවය කේන්ද්‍ර කර ගත් විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම සඳහා කැපවීමේ පියවරක් ලෙස මානව හිමිකම් කවුන්සිලය සමග වහාම ශක්තිමත් ලෙස නැවත සම්බන්ධ වන ලෙස අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්, රාජ්‍ය දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදුන් බව රාජ්‍ය ලේකම් බව ඇන්ටනි බ්ලින්කන් සඳහන් කළා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ක්‍රියාකාරීත්වය විවේචනය කරමින් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අමෙරිකාව ඉන් ඉවත් කර ගත්තේ ඉකුත් 2018 වසරේදීයි.

මේ අතර ලබන 22 වනදා ආරම්භ වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරය සම්බන්ධයෙන් අද පැවැති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ද අදහස් පළ වුණා. මේ, මාධ්‍යවේදියෙකු ඒ සම්බන්ධයෙන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදුන් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියා සිටියේ මේවන විටත් ශ්‍රී ලංකාවට පක්ෂ හා මධ්‍යස්ථ රටවල් සමග සාකච්චා කරමින් සිටින බවයි. එම රටවල සහය මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍යයි.