ඔබ ආකල්පමය වශයෙන් වෙනස් වන්න - මුරලිගෙන්, ක්‍රිකට් ක්‍රීඩකයින්ට උපදෙස්

Murali
By Thaya Feb 16, 2021 07:03 PM GMT
Thaya

Thaya

Report

තමන් ක්‍රීීඩාවේ නිරත වූ කාලයේ තිබූ ක්‍රිකට් ක්‍රීඩාවට වඩා වර්තමාන ක්‍රිකට් ක්‍රීීඩාව බෙහෙවින් වෙනස් වී තිබෙන බව තමන් පිළිගන්නා නමුත් ක්‍රිකට් ක්‍රිඩාව ගත්විට ආකල්පමය වශයෙන් කිසිම අයුරකින් වෙනසක් වී නොමැති බව හිටපු දඟ පන්දු යවන ශූරයකු වන මුත්තයියා මුරලිදරන් පවසනවා. ක්‍රිිකට් කමිටුවේ සාමාජිකයකු ද වන මුත්තයියා මුරලිදරන් මේ බව සදහන් කළේ ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ ආකල්ප අභිප්‍රේරණය කිරීම සදහා කොළඹ පැවති වැඩසටහනකට එක්වෙමින්. ලොව වැඩිම ටෙස්ට් සහ එක්දින කඩුලූ ලාභියා වන මුරලිදරන් එහිදී සදහන් කළේ අපට දක්ෂතාවල කිසිදු අඩුවක් නොමැති බව හා දක්ෂ දග පන්දු යවන්නන් මෙන්ම දක්ෂ පිතිකරුවන් ද සිටින බවයි.

අන් කවරදාවත් නොමැති අයුරින් වර්තමානයේ ශ්‍රී ලංකාව සතුව තුන් ඉරියව් ක්‍රීඩකයින් රැසක් සිටිනවා. මෙතැනදී අවශ්‍ය වන්නේ ක්‍රීඩකයින් දක්ෂතා අතරට පැමිණීමයි. පිතිකරුවෙකු සිය ක්‍රිකට් දිවිය නිමා කරන විටි ඔහු ශතක 30 ක් හෝ 40 ක් වාර්තා කර තිබිය යුතු බවයි මුත්තයියා මුරලිදරන් එහිදී පැවසුවේ. මෙම සෑම කටයුත්තක් සදහා මානසික ඒකාග්‍රතාව අවශ්‍යයයි. එය නොමැති නම්, අප දක්ෂ පුහුණුකරුවන් කොතෙක් පත් කළත් ඵලක් නොමැති බව ද මුත්තයියා මුරලිදරන් සදහන් කළා.

පුහුණුකරුවෝ නොවෙයි ක්‍රිකට් ක්‍රීඩා කරන්නේ. ක්‍රීඩකයන්. ඔවුන් සියයට 90 ක්ම පිළිතුරු ලබාදිය යුතු අතර එසේ නොමැතිව පිටත සිටින පිරිසට හෝ ක්‍රිකට් බෝඩ් එක මාරු කළ පමණින් ඊට පිළිතුරු නොලැබෙන බවයි මුත්තයියා මුරලිදරන් සදහන් කළේ. කෙතරම් කමිටු පත් කළත් අපට පිටියට ඇවිත් ක්‍රීඩා කරන්න බැහැ. ක්‍රීඩකයින් ආකල්පමය වෙනසක් සමග ක්‍රීඩා කිරීම වැදගත් බව ද මුත්තයියා මුරලිදරන් මෙහිදී අවධාරණය කළා. ජාතික පුහුණු සංචිතයට ඇතුළත්ව සිටින ක්‍රීඩකයින් 36 දෙනාගෙන් ළහිරු තිරිමාන්න හැරෙන්නට සියළුම ක්‍රීඩකයින් මුත්තයියා මුරලිදරන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම ආකල්ප අභිප්‍රේරණ වැඩසටහන සදහා එක් වුණා.

ReeCha