සිවුර ගලවා හිමිනමක් වැවට පනී.. ජීවිතයක් බේරා ගනී.

Religion
By Aruna Jun 08, 2021 05:59 AM GMT
Aruna

Aruna

Report

කහටගස්දිගිලිය, දියමයිලගස්වැව, වැවේ දිය නාමින් සිටි 70 හැවිරිදි පුද්ගලයෙකු කිඹුලෙකු විසින් පහර දී ඇදගෙන යාමට උත්සහ දැරූ අවස්ථාවේදී එම ගම්මානයේ විහාරස්ථානයේ හිමි නමක් විසින් දියට පැන කිඹුලා සමග පොර බදිමින් පහර කෑ පුද්ගලයා බේරාගෙන ඇති බව කහටගස්දිගිලිය පොලිසිය කියයි.

දියමයිලගස්වැව ශ‍්‍රී ධර්මරාජ විහාරස්ථානයේ 30 හැවිරිදි, පැල්ලන්දෙනියේ පියනන්ද හිමි සහ 70 හැවිරිදි දියමයිලගස්වැව පදිංචි ජේ.එම් විජේරත්න යන අය දියමයිලගස්වැව වැවේ ඊයේ (07) උදෑසන දිය නාමින් සිට ඇත. හිමිනම දිය නා අවසන් වී නැවත විහාරස්ථානයට පැමිණීමට සූදානම් වෙමින් සිටියදී වැවේ නාමින් සිටි විජේරත්න මහතා හට මෙම කිඹුල් ප‍්‍රහාරය එල්ල වී ඇත.

කිඹුලා විසින් මෙම පුද්ගලයා ඇදගෙන යමින් සිටියදී හිමි නම වැවට පැන කිඹුලා සමග පොර බදමින් විජේරත්න මහතා බේරා ගෙන ඇත. අනතුරුව ප‍්‍රදේශවාසීන්ගේ සහය ඇතුව මෙම පුද්ගලයා රෝහල් ගත කර ඇත.

සිදුවූ කිඹුල් ප‍්‍රහාරය හමුවේ විජේරත්න මහතාගේ පාදයට බරපතල තුවාල සිදු වී අනුරාධුපුර ශික්ෂණ රෝහලේ මේ වන විට ප‍්‍රතිකාර ලබමින් සිටී. එම අවස්ථාවට මුහුණ දුන් හිමිනමට කිසිදු අනතුරක් සිදුව නැත.

මෙම නිර්භීත ක‍්‍රියාවෙන් ජීවිතයක් බේරාගැනීම හේතුවෙන් කහටගස්දිගිලිය පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ඊ.එස්. අබේසේකර මහතා ඇතුලූ පොලිස් කණ්ඩායමක් දියමයිලගස්වැව විහාරස්ථානයට ගොස් හිමියන් බැහැ දැක ප‍්‍රශංසා කිරීමට ඊයේ (07) දහවල් කටයුතු කළේය.

You may like this video


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now