ලංකාවේ නිධියකින් යකඩ මිලියන 87 ක් - කැණීම් කටයුතු රජයෙන් ...
බුත්තල කුරම්පොළ සහ හලාවත පනිරෙන්ඩාව යපස් කැණීම් සිදු කිරීමට රජයේ වැඩ පිළිවෙලක් යටතේ සිදුකරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
යපස් නිධි රටේ ආර්ථිකයේ සංවර්ධනය සඳහා උපරිම ප්‍රයෝජනය සඳහා යොදා ගැනීමට පරිසර අමාත්‍යාංශය සහ කර්මාන්ත අමාත්‍යාංශය අතර ඊයේ (06) පරිසර අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී සාකච්ජා කෙරිණ.
අපේ රටේ ඛනිජ සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගනිමින් රටේ ආදායම උපරිම කර ගැනීම සඳහා පරිසර අමාත්‍යාංශය සහ කර්මාන්ත අමාත්‍යාංශය මෙම ඒකාබද්ධ වැඩසටහන දියත් කර තිබේ.
ඒ අනුව ඊයේ (06) පරිසර අමාත්‍යාංශයේ දී බුත්තල කුරම්පල යපස් නිධිය සහ හලාවත පනිරෙන්ඩාව යපස් නිධි කර්මාන්ත අමාත්‍යාංශයට භාරදීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්විණි. පරිසර අමාත්‍ය මහින්ද අමරවීර, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ,අමාත්‍යාංශ දෙකේ ලේකම්වරුන් වන ආචාර්ය අනිල් ජාසිංහ, අනුෂ පැල්පිට සහ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති අනුර වල්පොළ යන මහත්වරු සහභාගී වූහ.
කුරම්පල යපස් නිධිය වර්ග කිලෝමීටර් 26 ක් පමණ වන බවත් අවම වශයෙන් යකඩ ටොන් මිලියන 86 ක් එහි තැන්පත් වී ඇති බවත් භූ විද්‍යා හා පතල් කාර්යාංශය විසින් කරන ලද පර්යේෂණයකින් තහවුරු වී ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ නිලධාරීහු අමාත්‍යවරුන්ට දැනුම් දුන්හ.
කුරම්පල යපස් නිධිය පිළිබඳ වර්තමානයේ පවතින නෛතික තත්ත්වය හේතුවෙන් එම කටයුතු අවසන් වන තෙක් කර්මාන්ත අමාත්‍යාංශයට පැනිරෙන්ඩාව යපස් නිධිය කැණීමට රටේ ආර්ථිකයට හිතකර අයුරින් සම්පත් උපයෝගී කර ගනිමින් කටයුතු කළ හැකි බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.
පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ, අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි රටේ ඛනිජ සම්පත් සමස්තයක් වශයෙන් රටේ අභිවෘද්ධිය සඳහා යොදා ගැනීමට හැකි සෑම සහායෝගයක්ම ලබා දීමට තම අමාත්‍යාංශය සූදානම් බවයි. ඊට සැලැස්මක් සකස් කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයට උපදෙස් දුන්නේය.
මේ අතර, රජයේ කාර්යාලවලින් ඉවතලන හිස් කාබන් පෑන් සහ දත් බුරුසු නිසි ලෙස බැහැර කිරීම සඳහා සකස් කරන ලද කන්ටේනරයක් ද පරිසර අමාත්‍යාංශය විසින් කර්මාන්ත අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කරන ලදී.
: රජයේ කාර්යාලවලින් ඉවතලන කාබන්පෑන් සහ දත් බුරුසු නිසි ලෙස බැහැර කිරීම සඳහා සකස් කරන ලද බහාළුමක් අමාත්‍ය මහින්ද අමරවීර මහතා කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා වෙත භාර දෙනු ලැබීය. - අමාත්‍යාංශ ලේකම්වරුන් වන විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සහ අනුෂ පැල්පිට මහත්වරු ද මෙහි සිටිති.