විශ්වවිද්‍යාල වලට තවත් සිසුන් 800ක්..

University
By Thaya Jan 29, 2021 06:47 AM GMT
Thaya

Thaya

Report

ඉහළම ලකුණු ලබා ගත් සිසුන්ට අවස්ථාව දීම සඳහා විශ්වවිද්‍යාලවලට තවත් සිසුන් අටසියයක් පමණ වැඩි කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර ඇත.

මෙලෙස සිසුන් වැඩි කෙරෙන්නේ වෛද්‍ය, දන්ත වෛද්‍ය, ඉංජිනේරු, විද්‍යා, කළමනාකරණ හා තාක්ෂණ යන පීඨ සඳහා ය. සිසුන් වැඩි කිරීම සඳහා ප්‍රතිපාදන කොමිෂන් සභාව උපකුලපතිවරුන් සමග සාකච්ඡා කර එකඟතාවට පැමිණ තිබේ. එම එකඟතාවට අනුව ඒ ඒ පීඨවලට ඇතුළත් කළ යුතු නව සිසුන් සංඛ්‍යාව පසුගිය සතියේ ම උපකුලපතිවරුන් වෙත දන්වනු ලැබ ඇත.

සිසුන් වැඩි කිරීමට සාපේක්ෂව ප්‍රතිපාදනද වැඩිකිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලුම උපකුලපතිවරු මෙම පෙබරවාරි මස මුල දී අගමැති හා මුදල් ඇමැති මහින්ද රාජපක්ෂ හමුවෙති. මෙම හමුව පැවැත්වෙන්නේ ප්‍රතිපාදන කොමිෂන් සභාවේ මැදිහත් වීම මතය. එමෙන්ම ප්‍රතිපාදන වැඩිකිරීම සම්බන්ධයෙන් කොමිෂන් සභාවද මහාභාණ්ඩාගාරය සමග සාකච්ඡා කර ඇත.

පෙර වසරට සාපේක්ෂව මෙවර සිසුන් දසදහස් පන්සියයක් වැඩිපුර බඳවා ගැනීමට කොමිෂන් සභාව පියවර ගෙන තිබිණි. මෙම සිසුන් වැඩි කෙරෙන්නේ ඊටත් අමතරවය.

පසුගිය 2019 වසරේ දී විෂය නිර්දේශ දෙකක් යටතේ විභාගය පැවැත්වීම නිසා ඉසෙඩ් ලකුණු නිකුත් කිරීමේ දී ගැටලු සහගත තත්ත්වයක් උද්ගත විය. ඉසෙඩ් ලකුණු නිකුත් කළ ක්‍රමවේදයෙන් තමන්ට අසාධාරණයක් වූ බව සඳහන් කරමින් ඉහළම ලකුණු ලැබූ සිසුහු මෙන් ම දෙමව්පියෝ ද විරෝධතා ක්‍රියාමාර්ගවල යෙදුණහ. සිසුන් වැඩි කිරීමට ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර ඇත්තේ ඒ අනුවය.

ReeCha