කොවිඩ් අවදානම හේතුවෙන් කර්මාන්ත ශාලා 3 ක් වැසෙයි

Covid-19
By Thaya Jan 17, 2021 08:15 PM GMT
Thaya

Thaya

Report

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් බොරළුගොඩ අපනයන සැකසුම් කලාපයේ පිහිටි කර්මාන්තශාලා 5ක අහඹු ලෙස තෝරාගත් සේවකයින් 31 දෙනෙකු PCR පරීක්ෂණයට පසුගියදා ලක්කළ අතර ඉන් 20 දෙනෙකුම කොවිඩ් ආසාදිතයින් බවට හඳුනාගෙන ඇත.

ඒ අනුව ඔවුන්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 200 දෙනකු පමණ අදත් PCR පරීක්ෂණයට යොමුකළ අතර අපනයන සැකසුම් කලාපයේ කර්මාන්තශාලා තුනක් තාවකාලිකව වසාදැමීමටද පියවර ගෙන තිබේ.

මේ අතර, ත්‍රිකුණාමලය නගරය ආශ්‍රිතව වෙසෙන කොවිඩ් ආසාදිතයින් 16 දෙනෙකු හඳුනාගෙන තිබුණේ පසුගියදා සිදුකළ PCR හා ඇන්ටිජන් පරීක්ෂණවලදීය.

ඒ අනුව අද (16) උදෑසන සිට පූම්බූහාර් නැගෙනහිර ග්‍රාම සේවා වසමේ සංචරණය සීමාකිරීම සඳහා ආරක්ෂක අංශ සාමාජිකයින් යොදවා තිබුණි.

එමෙන්ම, අම්පාර - උහන සිවිල් ආරක්ෂක බලකා මූලස්ථානයට අනුයුක්ත සෙබලෙක් කොවිඩ් ආසාදිතයකු බව හඳුනාගැනීමත් සමඟ එම ප්‍රදේශයේ පවුල් 128ක් ස්වයං නිරෝධායනයට යොමුකිරීමට සෞඛ්‍ය බලධාරින් පියවර ගෙන තිබුණි.

මේ අතර, අම්බලන්ගොඩ නගරයේ පෞද්ගලික බැංකුවක සේවකයෙකුටත් කොවිඩ් ආසාදනයවීම නිසා ඔහු සමඟ සේවය කළ බැංකු කාර්ය මණ්ඩලය ස්වයං නිරෝධායනය සඳහා යොමුකළ අතර එම බැංකු ශාඛාව තාවකාලිකව වසාදමා අද විෂබීජහරණයට ලක්කර තිබේ