ධාවනයෙන් ඉවත් කළ ලංගම බස් රථ 273 ක් නැවත ධාවනයට

Bus
By Thaya Jan 02, 2021 06:39 PM GMT
Thaya

Thaya

Report

අබලන්වීම නිසා ධාවනයෙන් ඉවත් කර තිබූ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත්බස් රථ 273ක් අලුත්වැඩියා කොට නැවත මගී ප්‍රවාහන පද්ධතියට එක් කිරීම අද (31) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගාලු මුවදොර පිටියේ දී සිදු විය.

දිවයින පුරා ග්‍රාමීය මාර්ගවල මගී ප්‍රවාහන අවශ්‍යතා සඳහා මේ බස් රථ යොදා ගනු ලැබේ.

ප්‍රවාහන නියාමන, බස්රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි, මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ අදහසක් අනුව ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතාගේ උපදේශකත්වයෙන් වැඩසටහන ක්‍රියාවට නැංවිණ.

බිඳ වැටී තිබූ ආර්ථිකය යළි ගොඩනැගීම සඳහා නව රජය බලයට පත්වීමෙන් පසු වාහන ආනයනය සීමා කරනු ලැබීය.

ඒ නිසා මගී ප්‍රවාහනය සදහා අවශ්‍ය බස් රථ හිඟයක් ඇති විය. ඊට පිළියමක් ලෙස ආරම්භ කළ මේ ව්‍යාපෘතිය මගින් බස් රථ ආනයනය සඳහා වැයවන විනිමය ඉතිරි කර ගැනීමට හැකි වෙයි.

දිවයින පුරා ඇති ඩිපෝ 107ක සම්පූර්ණයෙන්ම ධාවනයෙන් ඉවත් කර තිබූ බස් රථ 273ක් අලුත්වැඩියා කර ඇති අතර වැය කළ මුදල රුපියල් මිලියන 115කි.

ශ්‍රී ලංකා පොදු ප්‍රවාහන සේවක සමිතියේ පූර්ණ සහය ඇතිව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩල ඩිපෝ හා ලක්දිව ඉංජිනේරු සමාගම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි.

ව්‍යාපෘතිය අඛණ්ඩව ක්‍රියාත්මකය.

බස් රථවල ගුණාත්මක ප්‍රමිතිය නිරීක්ෂණය කළ ජනාධිපතිතුමා ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සේවයකයන් සමග සුහද කථා බහක නිරත වෙමින් ඔවුන් දිරිමත් කළේය.