අවුරුදු 12 සහ 14 දැරියන් දෙදෙනෙකු අමානුෂික ලෙස ගණිකා වෘත්තියේ යෙදවූ නරුමයින්.

police matara
By Thaya Jan 02, 2021 06:23 AM GMT
Thaya

Thaya

Report

සමාජය තුළ දරුවන්ට නිසි රැකවරණයක් අවශ්‍ය බව සැවොම පිළිගන්නා ධර්මතාවයක්.

මේ කතාව එය යළි යළිත් තහවුරු කරනවා.

තම දරුවන්ට නිසි රැකවරණය සැලසීම දෙමාපියන්ගේ වගකීමක් වන අතර, එම වගකීම පැහැර හරින අතලොස්සක පිරිසක් මේ රටේ නැතිවාම නොවේ.

වයස අවුරුදු 12 ක සහ 14 ක දැරියන් දෙදෙනෙකුගේ ජිවිත මෙලෙස විනාශ වන්නේ දෙමව්පියන් මෙන්ම සමාජය ද ඔවුන්ට රැකවරණය ලබාදීමේ වගකීම පැහැර හැරීම හේතුවෙන්.

මාතර පදිංචි මෙම දැරියන් දෙදෙනාගේ මව සහ පියා ඔවුන් හැර ගොස් ඇති අතර, ඉඳ හිට පියා ඔවුන් තනිව වෙසෙන නිවසට පැමිණ ඇති බව පොලීසිය පැවසුවා.

එහෙත්, දැරියන්ගේ රැකවරණය හෝ ඔවුන්ගේ අවශ්‍යතා සම්බන්ධයෙන් ඔහු සොයා බලා නැහැ.

ජීවත් වන්නට මුදල් නොමැති නිසා ඒ පිළිබඳ තවත් කාන්තාවකට වැඩිමහල් දැරිය පවසා ඇති අතර, ඇය රැකියාවක් ලබාදෙන මුවාවෙන් මෙම දැරියන් දෙදෙනා ගණිකා වෘත්තීයේ යෙදවීමට පියවර ගන්නවා.

මේ වනවිට 27 හැවිරිදි අදාළ කාන්තාව අත්අඩංගුවට ගෙන අවසන්.

මෙම දැරියන්ගේ ජිවිත අනතුරේ හෙලූ ඇය ද එක්දරු මවක් වීම පුදුමයට කරුණක්.

දැරියන් දෙදෙනා ජාවාරමේ යෙදවූ ත්‍රිරෝද රථ රියදුරන් දෙදෙනෙකු ද මාතර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යාංශය ඊයේ අත්අඩංගුවට ගත්තා.

එසේම, දැරියන් මෙම ජාවාරමේ යෙදවූ පඹුරන ප්‍රදේශයේ හෝටල් හිමිකරුවෙකු ද අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ව්‍යාජ වයස් ඇතුළත් කරමින් දැරියකට හැඳුනුම්පතක් ද සකස් කර තිබූ බව පොලිසිය ප්‍රකාශ කළා.

ජාවාරම මෙහෙයවන කොළඹ කාන්තාවක් සොයා මාතර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යාංශය විමර්ශන ක්‍රියාත්මක කරනවා.

දැරියන් දෙදෙනා මේ වනවිට රෝහල් ගත කර තිබෙනවා.

අත්අඩංගුවට සැකකරුවන් 4 දෙනා මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ජනවාරි 11 වනදා දක්වා අද රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

මව්පිය සෙනෙහස අහිමි වූ දරුවන් රටේ අනන්තවත් සිටින අතර ඔවුන්ගේ ජිවිත මෙලෙස මිලින වීමට ඉඩ දීමේ වගකීම මුළු මහත් සමාජම භාර ගත යුතු නොවේද?