ආණ්ඩුවට සම්බන්ධ පක්ෂ 10ක් විශේෂ තීරණයක් ගනී...
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පූර්ණ වශයෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතුව තිබිය යුතු බවට ආණ්ඩුවට සම්බන්ධ දේශපාලන පක්ෂ 10ක් එකගතාවයකට පැමිණ තිබෙනවා.
ඒ, පවතින ගැටලුව සම්බන්ධයෙන් ඊයේ රාත්‍රීයේ අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නිවසේ පැවති සාකච්ඡාවකදීයි. සාකච්ඡාවෙන් පසුව අදහස් දැක්වූ අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසුවේ, මේ සම්බන්ධයෙන් හෙට දිනයේ කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡා කර තීරණයක් ගන්නා බවයි.
මෙම සාකච්ඡාවට එක්වූ අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවසුවේ, ජාතික සම්පත් රටට අහිමිවන කිසිදු තීරණයකට මෙම දේශපාලන පක්ෂ එකග නොවන බවයි.
අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ද සාකච්ඡාවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ, නැගෙනහිර පර්යන්තය සංවර්ධනය සඳහා මුදල් සොයා ගැනීමට වෙනත් ක්‍රමවේද වෙත යොමු වීමට අවස්ථාව පවතින බවයි.
මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද එක්ව සිටියා. සාකච්ඡාවෙන් පසු අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසුවේ, ආයෝජනය නමින් වුවද සිදුවන ජාතික සම්පත් පවරා දීමකට කිසිසේත්ම එකග නොවන බවයි.
මෙම සාකච්ඡාවට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පැවසුවේ, ජනතාවගෙන් ලද ජන වරමට ගරු කිරීම ජනාධිපතිවරයා සතු වගකීමක් බවයි.
මේ අතර වරාය වෘත්තීය සමිති ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය ඊයේ දෙවන දිනටත් ක්‍රියාත්මක වූ අතර ඒ හේතුවෙන් වරාය කටයුතුවලට බාධා ඇති වුණා. සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් නිරෝෂන් ගොරකානගේ මහතා පැවසුවේ, වරාය ගැටලුව විසදීමට මේ වන විට ලැබෙමින් ඇති යෝජනා පිළිගත නොහැකි බවයි.
ඔහු කියා සිටියේ නැගෙනහිර පර්යන්තය වෙනුවට බටහිර පර්යන්තය වෙනත් පාර්ශවයකට ලබා දීමටද එකග නොවන බවයි.
කෙසේවෙතත් නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු විසදා ගැනීම සඳහා කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුව ඉකුත්දා ජනාධිපතිවරයාට යෝජනා 06ක් ඉදිරිපත් කළා. එහි එක් යෝජනාවක් වී තිබුණේ භූ දේශපාලන අර්බුදය විසදා ගැනීම සඳහා බටහිර පර්යන්තය ඉන්දියාව සහ ජපානය සමග එක්ව සංවර්ධනය කිරීමයි.