සංචාරකයින් සීගිරියට ඇවිත් කරපු දේ මෙන්න.

Tourists Sigiriya
By Thaya Jan 18, 2021 06:02 PM GMT
Thaya

Thaya

Report

මෙරටට පැමිණ සිටින යුක්‍රේන ජාතික සංචාරකයෝ 45 දෙනෙකු අද දින දහවල් සීගිරිය නැරඹීම සඳහා පැමිණ සිටියා.

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග ගේ ප්‍රධානත්වයෙන් මෙම යුක්රේන සංචාරක කණ්ඩායම සීගිරියට පැමිණ තිබුණු අතර මධ්‍යම සංස්කෘතික අරමුදල සීගිරි ව්‍යාපෘති කාර්යාලයේ නිලධාරීන් ඔවුන්ව මහත් හරසරින් පිළිගනු ලැබුවා.

බස් රථ වලින් සීගිරියට පැමිණි මෙම යුක්රේන විදේශීය සංචාරකයන් හට පොලිසිය සහ යුද හමුදාවේ පූර්ණ ආරක්ෂාව ද සපයා තිබු බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

සංචාරක පිරිස සඳහා ආරක්ෂාව සැපයීමට පැමිණ සිටි පොලිසිය යුද හමුදාව මෙන්ම මධ්‍යම සංස්කෘතික අරමුදල කණ්ඩායමද ආරක්ෂිත ඇඳුම් වලින් සැරසී පිරිසට පහසුකම් සැපයීම සඳහා ක්‍රියා කර තිබෙනවා.

සීගිරියට පැමිණි යුක්‍රේන සංචාරක කණ්ඩායම මුලින්ම ‍මධ්‍යම සංස්කෘතික අරමුදල සීගිරි කෞතුකාගාරය නැරඹීම සඳහා පිටත්ව ගිය අතර ප්‍රවේශපත්‍ර ලබා ගැනීමෙන් අනතුරුව මෙම කණ්ඩායම කණ්ඩායම් දෙකකට බෙදී මගපෙන්වන්නන් දෙදෙනෙකුගේ සහයෝගය ඇතිව සීගිරි ජල උද්‍යානයේ මෙන්ම සීගිරි උද්‍යානයේ ද නැරඹීම සිදු කළා.

පසුව මෙම කණ්ඩායම සියලු දෙනා සීගිරි පව්ව තරණය කිරීම සඳහා පිටත්ව ගිය බවයි අප වාර්තාකරු පැවසුවේ.

මෙම කණ්ඩායම සීගිරි පව්ව තරණය කරන අවස්ථාවේ කිසිදු දේශීය සංචාරකයකුට සීගිරියට ගමන් කිරීමට අවසර ලබා නොදුන් අතර මෙම පිරිස පිටත්ව ගිය පසු විසබීජහරණය කිරීමෙන් අනතුරුව නැවතත් දේශීය සංචාරකයන්ට සිගිරිය විවෘතව තබන බවයි මධ්‍යම සංස්කෘතික අරමුදලේ නිලධාරීන් පැවසුවේ.

කලකට පසුව සීගිරියට විදේශීය සංචාරකයින් පැමිණීම ද විශේෂත්වයක් වනවා.


GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery