73 වන ජාතික නිදහස් දිනයේ දී ජනපති රට ඉදිරියේ කියූ දේ මෙන්න.
අභිමානවත් 73 වන ජාතික නිදහස් දිනය අදට (04) යෙදී තිබෙනවා. නිදහස් දින සැමරුම අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරස්‍රයේ දී අභිමානවත් අයුරින් ආරම්භ වුණා. ඉසුරුමත් හෙට දිනක්, සෞභාග්‍යවත් මව්බිමක් යන තේමාව යටතේ මෙවර ජාතික නිදහස් දින සැමරුම් උළෙල කොවිඩ් -19 සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සහ ඉතා චාම් අයුරින් පැවැත්වීමට ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබාදීම ද විශේෂත්වයක්.
පාස්කු ඉරිදා ප්‍රහාරය සහ මහ බැංකු වංචාව සම්බන්ධයෙන් කටයුතු කිරීමට අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්නා ලෙස තමන් නීතිපති දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටිනවා. 73 වන නිදහස් දින සැමරුමට එක්වෙමින් ජනාධිපතිවරයා ජාතිය අමතමින් කියා සිටියේ මෙම මහා අපරාධය සම්බන්ධයෙන් වගකිවයුතු සෑම දෙනාටම එරෙහිව නිතිය ක්‍රියාත්මක කරන බවයි. කොවිඩ් වෛරසය සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක එන්නත් කරණ වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි මෙහිදී ජනාධිපතිවරයා කියා සිටියේ.
සෑම අවස්ථාවකදීම රටේ මහජනතාව නොමග යැවීමට ඇතැම් පාර්ශව ක්‍රියා කරන බව පැවසූ ජනාධිපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේ සෑම විටම විචාරණ බුද්ධියෙන් යුතුව කටයුතු කිරීමට පෙළඹිය යුතු බවයි. රටේ ආර්ථික මර්මස්ථාන විදේශිකයින්ට විකිනීමට රජය කටයුතු නොකරන ප්‍රතිපත්තිය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවත් එම මර්මස්ථාන දියුණු කිරීම සඳහා විදේශ ආයෝජන එක් කර ගැනීමේදී ඊට එරෙහිව කටයුතු කරමින් අසත්‍ය කරුණු ප්‍රචාරණය කරන අයවලුන් ගේ යටි අරමුණු සම්බන්ධයෙන් විචාරණ බුද්ධියෙන් ජනතාව කටයුතු කළ යුතු බවද මෙහිදී ජනාධිපතිවරයා කියා සිටියා.
ත්‍රිවිධ හමුදා ආචාර පෙළ පාලිය ඇතුළු විශේෂ සංස්කෘතිකාංග රැසකින් අද දින නිදහස් උළෙල සමන්විත වී තිබීමද විශේෂත්වයක්. ජාතික නිදහස් දින සැමරුමේ සම්පූර්ණ වීඩියෝව පහතින් නරඹන්න.