කාලේ කන්නයි ජනතාවගේ මුදල් නාස්ති කරන්නයි පාර්ලිමේන්තුව පාවිච්චි කරන්න එපා, වසන්ත ඉල්ලයි
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන ඇමැති වසන්ත සමරසිංහ මහතා ජනතාවගේ මුදල් නාස්ති කිරීම සඳහා පාර්ලිමේන්තුව පාව්චිචි නොකරන්නැයි විපක්ෂයෙන් ඉල්ලා සිට තිබෙනවා.
ඒ අනුව ඔහු මෙම ඉල්ලීම කර ඇත්තේ අද (11) දින පාර්ලිමේන්තුවේදීයි.
ඒ ජාතික විගණන (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම, පරිපූරක ඇස්තමේන්තුව අංක 01 — අනුමත කිරීමට සහ පරිපූරක ඇස්තමේන්තුව අංක 02 — අනුමත කිරීමට අදාළ විවාදයට සහභාගී වෙමින්.
මෙහිදී තවදුරටත් අදහස් පළකළ වසන්ත සමරසිංහ මහතා කියා සිටියේ,
"අපේ රටේ පාර්ලිමෙන්තුවේ සංයුතිය සම්බන්ධයෙන් ජනතාව දන්නවා. විපක්ෂය ගේන විශ්වාසභංගය පරාජය ගේන්න අපේ මන්ත්‍රීවරු හොඳටම ප්‍රමාණවත්. ඒ නිසා නිවැරදි ක්‍රමවේදයට නොවන ආකාරයෙන් විශ්වාසභංගයක් ගෙනවිත් කතානායකට බලකරනවා. එය සාධාරණ නැහැ. විපක්ෂය අද විවිධ ක්‍රියාමාර්ග කරන්න උත්සාහ කරනවා. පාර්ලිමේන්තුවේ ගත කරන කාලයෙන් රටට ප්‍රයෝජන ගතයුතු වෙනවා. පාර්ලිමේන්තුව මෙහෙයවීමේ දී කතානායකවරයාට සවන් දිය යුතු වෙනවා. මේක තනතුරක් අපේ රටට. මෙලෙස විපක්ෂය තමන්ට හිතෙන ඕනම දෙයක් කරන්න උත්සාහ ගන්නවා . පාර්ලිමේන්තුව පවත්වාගෙන යන්න ආණ්ඩුව ලබාදෙන සහාය වැරැදි ලෙස ගන්න එපා. අසාර්ථක වැඩ කරලා ඒක ප්‍රවෘත්තියක් බවට පත්කොට ජනතාවගේ සල්ලි නාස්ති කරනවා. පාසල් දරුවන් පාර්ලිමේන්තුව බලන්න එනවා . මෙතන අශීලාචාර දේ දකින්න හොඳ නැහැ. ඒ දරුවන් පාර්ලිමේන්තුවේ වෙන දේ බලන්න ආශාවෙන් ආවා. ඒ අවස්ථාවත් නැති කළා. විපක්ෂය අසාර්ථක උත්සාහයක ඉන්නවා. එහෙම ප්‍රවෘත්ති නිර්මාණය කර ආණ්ඩුව වට්ටන්න බැහැ. අද විපක්ෂය එකට ඉන්නේ. පාර්ලිමේන්තුවේ කාලය වෙන් කිරීම සඳහා ගත් වෙහෙස සඳහා වටිනාකමක් ලබාදිය යුතු වෙනවා. විපක්ෂය විවාද කරන්න දන්නේ නැහැ. විවාදය ඉල්ලූ කිසිවෙකු නැහැ. පාර්ලිමෙන්තුවේ කාලය කන එකට අපි මැදිහත් වෙනවා. ආණ්ඩුව මේ කාර්යයේ දී සද්භාවයෙන් වැඩ කරනවා. වැදගත් සංවාද කරන්න පාර්ලිමේන්තුව පාවිච්චි කරමු. ජනතාවගේ මුදල් නාස්ති කරන්න පාර්ලිමේන්තුව පාවිච්චි කරන්න එපා" යනුවෙන්.