බිඳවැටුනු දුම්රිය සහ මහාමාර්ග කඩිනමින් ප්‍රතිසංස්කරණය කරන්න පියවර
නුවර - නුවරඑළිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු තවදුරටත් සිදුවෙමින් පවතින බවත් නුවරඑළියෙන් ආරම්භ කරමින් නුවර දෙසටත් නුවරින් ආරම්භ කර නුවරඑළිය දෙසටත් මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කෙරෙන බවත් ඉදිරි පැය 36 ඇතුළත ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ උපදෙස් මත මෙම මාර්ගය විවෘත කිරීමට හැකියාව ලැබෙන බවත් මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් විමල් කන්ඩම්බි මහතා පවසයි.
ඊයේ (10) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී ඒ මහතා සඳහන් කළේ, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ (NBRO) උපදෙස් මත ඉදිරි පැය 36 ඇතුළත මෙම මාර්ගය මහජන ගමනාගමනය සඳහා විවෘත කිරීමට හැකිවනු ඇති බවයි.
ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩෝ මහතා පැවසුවේ, මහනුවර - නුවරඑළිය මාර්ගය අවහිර වීම නිසා කොළඹ සිට නුවරඑළිය දක්වා ධාවනය වන සියලුම බස්රථ හැටන් හරහා යොදවා ඇති බවත්, මහනුවර සිට බදුල්ල දක්වා ධාවනය වන බස්ද හැටන් මාර්ගය හරහා ගමන් කරවන බවත්ය. මාර්ග අවහිරතාව ඉවත් වූ පසු ගම්පොළ මාර්ගය නැවත විවෘත කරන බවද ඒ මහතා කියා සිටියේය.
ජාතික ගමනාගමන මණ්ඩලයේ සභාපති ඉංජි. සජීව කණකරත්න මහතා සඳහන් කළේ, නුවරඑළිය-බදුල්ල මාර්ගයේ හග්ගල දිගනැගීමේදී බස් ධාවනය කළ නොහැකි වීම නිසා, හග්ගල දී බස් නවත්වා එතැනින් බදුල්ල දක්වා වෙනම බස් 04ක් ධාවනය කරමින් මගීන් මාරු කරවන බවයි. මෙම සහන බස් සේවා ඊයේ සිට ක්‍රියාත්මක වන අතර, සමස්ත සහන කටයුතු සඳහා බස් 120කට අධික ප්‍රමාණයක් යොදවා ඇති බවද ඒ මහතා පැවසීය.
එමෙන්ම, දුම්රිය සේවා අඩාල වූ ප්‍රදේශවල දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්ව තිබීම නිසා එම ප්‍රදේශවලට ලබාදුන් තාවකාලික බස් සේවා අත්හැර දමා ඇති අතර, මහනුවර - කොළඹ බස් තවදුරටත් සාමාන්‍ය පරිදි ධාවනය වන බවද ඒ මහතා කියා සිටියේය.
අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී (මෙහෙයුම්) බණ්ඩාර චන්ද්‍රසේන මහතා පැවසුවේ, දුම්රිය ජාලයට කුරුණෑගල සහ රඹුක්කන ගමනාන්ත එකතු කිරීමට හැකිවූ බවත්, රඹුක්කන සිට කුරුණෑගල හරහා කොළඹ දක්වා කාර්යාල ගමන් බිමන් දුම්රිය සේවා ස්ථීරව පවත්වාගෙන යාමට සැලසුම් කර ඇති බවත්ය.
ප්‍රතිසංස්කරණ කටයුතු මධ්‍යයේ දුම්රිය ධාවනය කෙරෙන නිසා ඉදිරි දින කිහිපයේ දිවා කාලයේ බුජගම්පොළ ප්‍රදේශයේ දුම්රිය තාවකාලිකව නතර කෙරෙන බවත්, හැකි ඉක්මනින් දිවා දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්කරන බවත්, පාසල් වාරය ආරම්භයත් සමඟ කුරුණෑගල-රඹුක්කන දුම්රිය සේවාද සාමාන්‍ය කරන බවත් ඒ මහතා අවධාරණය කළේය.