සැබෑ නායකයෙක් යනු පරිසරයට ආදරය ගෞරවය කරන අයෙක්

Enviroment
By Thaya Feb 17, 2021 05:00 PM GMT
Thaya

Thaya

Report

බුදුදහම අනුව සැබෑ නායකයෙක් කියන්නේ පරිසරයට ආදරය හා ගෞරවය කරන, ඒ වගේම පරිසරය ආරක්ෂා කරන පුද්ගලයාටයි. පරිසරය විනාශ කරනවා යැයි වත්මන් රජයට එල්ල වන චෝදනා නොසළකා හරින්න එපා. එසේ එල්ල වන චෝදනාවල ඇත්ත නැත්ත ජනතාවට පහදා දීම රජයේ වගකීමක් යැයි පූජ්‍ය මාලේවන ධම්මවිජය හිමි ( අනගාරික ධර්මසේකර තුමා) පැවසූහ. උන්වහන්සේ මෙම අදහස් පළ කළේ ඊයේ පෙරවරුවේ (16) පරිසර අමාත්‍යාංශයේ දී අමාත්‍ය මහින්ද අමරවීර මහතා හමුවී සාකච්ඡා කළ අවස්ථාවේය. උන්වහන්සේ විසින් පරිසරය අළලා රචනා කර තිබු නවතම කෘතිය වන “දියෙන් සනහා රකිමු ලංකා” නැමැති කෘතිය අමාත්‍යවරයාට බාර දීම සඳහා පරිසර අමාත්‍යාංශයේ දී මෙම සාකච්ඡාව පැවැත්විනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු උන්වහන්සේ මෙසේ පැවසූහ. “ගොවිතැන් බත් කරන්න ඕනෑ. වගා කරන්න ඕනෑ. ආහාර බෝග වගා කරන්න ඕනෑ. ජනතාවගේ බඩගින්නේ නිවා දැමීමේ වගකීමත් ආණ්ඩුවට තියෙනවා. ඒ වගේම පරිසරය ආරක්ෂා කර ගන්නත් ඕනෑ. මේ පොළවේ ජීවත් විය යුත්තේ මිනිස්සු විතරක් නොවෙයි. අනිකුත් සතුන් ද ජීවත් විය යුතුයි. රජය විසින් කළ යුත්තේ සංවර්ධනයත් පරිසරයත් සමතුලිතව පවත්වා ගෙන යාමට කටයුතු කිරීමයි. මම ජනමාධ්‍ය වලින් නිතරම පරිසර හානි කිරීම් දකිනවා. ඔවුන් නිතරම අලි මිනිස් ගැටුම් සම්බන්ධව වාර්තා කරනවා. ඒ වගේම වටිනා සතුන් නිරපරාදේ මිනිස්සු මරා දමන අවස්ථා දකිනවා. මිනිස්සුන්ටත් පරිසරය ගැන නිසි අවබෝධයක් නැති බව පෙනෙනවා. වඳ වී යාමේ තර්ජනයට ලක්වෙච්චි සමහර සතුන් ඉන්නවා. ඒ වුනාට මිනිස්සු ඒ ගැන හරි වැටහීමක් නැහැ. මිනිස්සු හිතන්නේ තමන්ට හම්බ කරන්නට අවස්ථා හොයා ගැනීම හා කුසගින්න නිවා ගැනීම පමණයි. ඉන් එහාට පරිසරය ගැන හිතන්න බොහෝ දෙනෙකුට වුවමනා නැහැ.

ඒ නිසා පරිසර අමාත්‍යවරයා විදිහට ඇගට දැනෙන වැඩ සටහනක් ආරම්භ කරන්න. රුක් රෝපණ වැඩ සටහන් ක්‍රියාත්මක කිරීම හොඳයි. රුක්රෝපණ වැඩ සටහන්වලින් හිටුවපු ගස් ටිකත් නොතිබෙන්නට අපිට ඔක්සිජන් ටැංකිත් පිටරටින් ගෙන්වන්න සිදුවෙනවා. ඒ නිසා පරිසර විනාශ කිරීම් සම්බන්ධව ආණ්ඩුවට එල්ල වෙන චෝදනා සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුකරවන ලෙස මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා.” මෙහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා-

“ඇතැම් සමාජ මාධ්‍ය ජාලාවල පරිසරය හානි කිරීම් සම්බන්ධව පළවෙන තොරතුරු අසත්‍යයි. වසර තිහ හතළිහක් තිස්සේ වගා නොකරපු පුද්ගලික ඉඩම් අපේ රටේ තිබෙනවා. ඒවා මහ කැළෑ බවට පත්වෙලා. මේ වසරේ දී එවැනි බොහෝ ඉඩම් වගා කිරීම පටන් අරන් තියෙනවා. කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා ආහාර අර්බුදයක් ඇති වීම වැළැක්වීමට හැකි තරම් වගා කරන්නට රජය තීරණය කළා. ඒ අනුව තමයි කැළැ බවට පත්ව තිබෙන සමහර ඉඩම් වගා කිරිම ආරම්භ කර තිබෙන්නේ. නමුත් සමහර සිදුවීම් මුළුමනින්ම ඇත්ත. සමහර ජාවාරම්කාරයෝත්, දේශපාලනඥයෝ හා නිලධාරිනුත් මෙම සිදුවීම් පසුපස ඉන්නවා. අපි දැනටමත් විශාල පිරිසකට නීතිමය පියවර අරගෙන තිබෙනවා” . යැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.මෙහිදී උන්වහන්සේ විසින් රචනා කරන ලද පොත් කට්ටලයක් අමාත්‍යවරයා වෙත බාර දෙනු ලැබීය.