හින්දු බැතිමතුන් මහත් හරසරින් සමරන මහා ශිව රාත්‍රී දිනය අදයි.

Religion
By Thaya Mar 11, 2021 09:37 PM GMT
Thaya

Thaya

Report

ලොව පුරා හින්දු බැතිමතුන් අද (11) ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් මහා ශිව රාත්‍රී දිනය සමරනු ලබයි.

හින්දු දහමට අනුව දෙවියන් අතුරින් ලොව බලවත්ම දෙවියන් තමා යන්න ශිව දෙවියන් ලොවට විදහා දැක්වු අසිරිමත් දිනය අදට යෙදී තිබේ.

හින්දු බැතිමතුන් මහා ශිව රාත්‍රී දිනය ලෙස සමරනු ලබන්නේ ශිව දෙවියන් ආලෝක කදම්බය නිකුත් කළ නැකත උදාවන දිනය වන අතර හින්දු බැතිමතුන් අද රාත්‍රීයේ සිට හෙට (12) උදෑසන දක්වා ශිව දෙවියන්ට පුජෝපහාර දක්වමින් මහා ශිව රාත්‍රී දිනය සමරනු ලබයි.

කෙසේවෙතත් ලොව බලවත්ම දෙවියන් ශිව දෙවියන් බව හින්දු බැතිමතුන්ගේ විශ්වාසය යි.

මේ අතර මහ ශිව රාත්‍රී දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසන්නේ, ශිව දෙවියන්ගේ ආලෝක කදම්බයෙන් මෝහාන්දකාරය දුරුකොට ප්‍රඥා මහිමය අත්කර ගැනීමේ ප්‍රාර්ථනාව පෙරදැරිව ශ්‍රී ලාංකේය සහ ලොව පුරා හින්දු බැතිමතුන් අනාදිමත් කාලයක සිට මහ ශිව රාත්‍රී දිනය සමරනු ලබන බවය.

පසුගිය වසරේ පැවති කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය රීතීන්වලට අනුගතව මහ ශිව රාත්‍රී දින වතාවත් සිදුකිරීමට හින්දු බැතිමතුන්ට සිදුවූ බව ද ජනාධිපතිවරයා එහිදි පෙන්වාදෙයි.

මෙවර යම් ලිහිල් කිරීමක් පැවතිය ද සෞඛ්‍ය උපදෙස් පිලිපදිමින් එම දිනය සමරනු ඇති බවට තම විශ්වාසය බව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය මහ ශිව රාත්‍රී දින පණිවිඩය මඟින් සඳහන් කර තිබේ.