මාරාන්තික පස්සර අනතුරේ- ටිපර් රථ රියදුරු අත්අඩංගුවට.

Police
By Thaya Mar 21, 2021 06:40 PM GMT
Report

මොණරාගල - බදුල්ල මාර්ගයේ පස්සර 13 කණුව ප්‍රදේශයේදී මගී ප්‍රවාහන බස් රථයක් ප්‍රපාතයකට පෙරළීයාමෙන් සිදුවූ අනතුර සම්බන්ධයෙන් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බස් රථයට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ටිපර් රථයේ රියදුරු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. එම ටිපර් රථයේ රියදුරු 45 හැවිරිදි තැනැත්තෙකු වන අතර ඔහු ඊයේ රාත්‍රීයේ පස්සර පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

ඊයේ (20) උදෑසන ලුණුගල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් 13 කණුව ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන අඩි 250 ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුර සිදුවුණි. ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ටිපර් රථයකට මාර්ගයේ ඉඩ ලබාදීමට යාමේදී බස් රථයේ ඉදිරිපස රෝදය මාර්ගයෙන් ඉවතට ලිස්සා යෑම නිසා බසය ප්‍රපාතයට පෙරළී ඇති බව පොලිසිය පැවසීය. අනතුරින් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් තවත් 32කට තුවාල සිදුවිය.