කැකිරාවේ දී සිදු වූ බිහිසුණු අනතුර තුන් හැවිරිදි දරුවෙකුට මරු කැඳවයි

Accident
By Thaya Apr 08, 2021 06:04 PM GMT
Thaya

Thaya

Report

කැකිරාවේ, කිලෝ මීටර් 79 කණුව අසල දී සිදුවු රිය අනතුරකින් කුඩා පිරිමි දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (07) සවස 5.30ට පමණ මාර්ගය අයිනේ නවතා තිබු කාර් රථයක් නැවත මාර්ගයට හැරවීමේ දී කැකිරාව දෙසට ගමන් කළ ත්‍රීරෝද රථයක් කාර් රථයේ ගැටී තිබේ. පසුව ත්‍රීරෝද රථය මාර්ගයේ ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි යතුරුපැදියක ගැටී අනතුර සිදුව තිබේ. අනතුරින් යතුරුපැදියේ ගමන් කළ අඹුසැමි යුවළ හා වයස අවුරුදු 3ක් වු පිරිමි දරුවෙකු බරපතළ තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කිරීමේ දී දරුවා මියගොස් තිබේ.

එලෙස මියගොස් ඇත්තේ කැකිරාව ප්‍රදේශයේ ම පදිංචි දරුවෙක් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි. අනතුරින් ත්‍රීරෝද රථයේ ගමන් කළ රියදුරු හා පිටුපස ගමන් කළ කාන්තාවන් තිදෙනෙකු තුවාල ලබා දඹුල්ල රෝහලේ ප්‍රතිකාර ලබයි. කැකිරාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි. මේ අතර ගලේවල, අඹේපුස්ස - ත්‍රීකුණාමලය මාර්ගයේ බෙලිගමුව ප්‍රදේශයේ දී සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.

ගලේවෙල දෙස සිට කුරුණෑගල දෙසට ධාවනය වු ටිපර් රථයක් හා ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ත්‍රීරෝද රථයක් මුහුණට මුහුණ ගැටී අනතුර සිදුව තිබේ. අනතුරින් බරපතළ තුවාල ලැබු ත්‍රීරෝද රථ රියදුරු ගලේවෙල රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇත. එලෙස මියගොස් ඇත්තේ වයස 46ක් වු පොතුහැර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ