පිටරට බස් එලවන මෙරට ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයින් දෙදෙනා.

Australia Sri Lanka
By Thaya Mar 01, 2021 06:10 PM GMT
Thaya

Thaya

Report

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයින් දෙදෙනෙකු ඔස්ට්‍රේලියාවේ බස් රියැදුරන් ලෙස කටයුතු කරන බවට ඔස්ට්‍රේලියාවේ 9News ප්‍රවෘත්ති සේවය අනාවරණය කර තිබේ. එම ක්‍රීඩකයින් වන්නේ, හිටපු දක්ෂ දඟ පන්දු යවන්නෙකු වූ සුරාජ් රන්දිව් සහ පිතිකරුවෙක ලෙස ක්‍රීඩා කළ චින්තක ජයසිංහ යන දෙදෙනාය. 2009 වසරේදී පළමු වරට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට වරම් ලැබූ සුරාජ් රන්දිව්

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 12ක්, එක්දින තරග 31ක් සහ පන්දුවාර 20යි 20 ජාත්‍යන්තර තරග 7ක් වෙනුවෙන් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෙකි. ඔහු 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට ද ක්‍රීඩා කළ අතර අවසන් වරට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කර ඇත්තේ, 2016 වසරේදීය. මේ අතර, චින්තක ජයසිංහ පන්දු වාර 20යි 20 ජාත්‍යන්තර තරග 5කදී ශ්‍රී ලංකාව නියෝජනය කර තිබේ. ඔහු ද 2009 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එක් වූ අයෙකි.

මෙම ක්‍රිකට් ක්‍රීඩකයින් පිළිබඳව ඔස්ට්‍රේලියාවේ 9News පුවත් සේවය කළ සම්මුඛ සාකච්ඡාවකදී සුරාජ් රන්දීව් පවසා ඇත්තේ, ඔස්ට්‍රේලියාවේ බිග් බෑෂ් ලීගයට ක්‍රීඩා කිරීම සිය අරමුණ බවය. ඒ සඳහා තවමත් තමන්ට අවස්ථාවක් ඇතැයි ඔහු විශ්වාස කරයි. මේ අතර, ඔස්ට්‍රේලියාවේ රියැදුරන්ගෙන් සමන්විත ක්‍රිකට් කණ්ඩායමක් බිහි කිරීමට ද සැලස්මක් ඇතැයි සුරාජ් රන්දිව් පැවසීය.