තරුණිය ඝාතනය කළ SIගේ මළ සිරුර ප්‍රථමයෙන් දුටු පුද්ගලයා මාධ්‍යයට කියූ කතාව
වේල්ල වීදිය ප්‍රදේශයේ දී ට්‍රැවලින් බෑගයක දමා තිබියදී සොයාගත් හිස නොමැති කාන්තා මළ සිරුර සම්බන්ධයෙන් පොලිස් විමර්ශනවලට අවශ්‍යව සිටි සැකකාර උප පොලිස් පරීක්ෂකවරයාගේ මළ සිරුර පළමුවෙන් ම දැක ඇති පුද්ගලයා ඒ බව මාධ්‍යයට අනාවරණය කළේ මෙසේය. වයස් ගත පුද්ගලයෙක් වන ඔහු තම බිරිඳ සමඟ රබර් කිරි කැපීමට ගොස් තිබිය දී අද (03) උදෑසන 5.30ට පමණ උප පොලිස් පරීක්ෂකවරයා ගසක එල්ලී සිටින අයුරු දැක තිබේ. ඒ පිළිබඳ අදහස් දැක්වු මළ සිරුර ප්‍රථමයෙන් ම දුටු පුද්ගලයා,
“මගේ නෝනා කිරි කපනවා. එයාගේ තනිවට මම එතනට ගියා. එළිය වැටෙනකල් මම හැමදාම යනවා. එයා කිරි කපනකල් මම ටෝච් එක කන්දේ ඈතට අල්ලනවා. එළිය අල්ලනකොට පඹයෙක් වගේ මොකද්ද එකක් තියෙනවා. මම බැලුවා මේ රබර් ගහ ද කියලා. මගේ ඇස් පේනවා අඩුයි. මම නෝනගෙන් ඇහුවා කවුද කියලා බලන්න කියලා. මෙහෙම කතාවකුත් තිබ්බනේ. එල්ලිලා කියලා එයා කිව්වා. අපි දෙන්නත් එකක් ම ආයේ කිරි කැපුවේ නෑ. අපි දුව ගෙන ම ගෙදර ආවා. 5.30ට විතර දැක්කේ. ඒ කරලා පුතාලට කිව්වා. පුතයි මායි ආපහු ගියා. ඊට පස්සේ පුතා කිව්වා අහවලා කියලා. ඊයේ රාළහාමිලා මෙතනින් ගියා. යන ගමන් ඇහුවනේ ප්‍රේමසිරි කියලා කෙනෙක් දැක්කේ නැද්ද ඇහුවා. ඒ වෙලාවේ ගිහින් හෙව්වට හොයා ගත්තේ නෑ. එච්චරයි දන්නේ.“
හිස නොමැති කාන්තා මළ සිරුරක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශනවලට අවශ්‍යව සිටි සැකකාර උප පොලිස් පරීක්ෂකවරයාගේ මළ සිරුර ඔහුගේ නිවස ආසන්නයේ රබර් වත්තක තිබිය දී එලෙස අද උදෑසන සොයාගනු ලැබීය. බඩල්කුඹුර, පහේ කණුව ප්‍රදේශයේ, රබර් වත්තක, ගසක එල්ලෙමින් තිබිය දී මළ සිරුර ගෙන ඇති අතර, ඒ ආසන්නයේ තිබී “වස කුප්පියක්“ ද සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. එලෙස මියගොස් ඇත්තේ 52 හැවිරිදි, බුත්තල පොලීසියට අනුයුක්තව සේවය කළ නිවාඩු ලබා සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකි.
පසුගිය මාර්තු 1 වන දා වේල්ල වීදිය ප්‍රදේශයේ දී හිස නොමැති මළ සිරුරක් සොයාගනු ලැබු අතර එය කුරුවිට, තෙප්පනාව ප්‍රදේශයේ කාන්තාවකගේ බවට අනාවරණය විය. ඇය 30 හැවිරිදි අවිවාහක කාන්තාවකි. ඇය ඝාතනය කළ පුද්ගලයා ලෙස සියදිවි හානි කරගෙන ඇති උප පොලිස් පරීක්ෂකවරයා හඳුනාගත් අතර, පොලිස් කණ්ඩායම් කිහිපයක් ඔහුව අත්අඩංගුවට ගැනීමට යෑමේ දී ඔහු නිවසින් පළාගොස් තිබුණි. දැනට ඇති සාක්ෂි අනුව ඔහු වස පානය කර සියදිවි හානි කරගන්නට ඇති බවත්, මහෙස්ත්‍රාත් පරීක්ෂණයක් හා පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිත බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
මේ අතර ඝාතනයට ලක්වු කුරුවිට, තෙප්පනාව ප්‍රදේශයේ පදිංචි තරුණිය සිරිපා වන්දනාවේ යන බව පවසමින් නිවසින් බැහැරව ගොස් ඇතැයි වාර්තා වේ. වසර කිහිපයකට පෙර ඇය එම ප්‍රදේශයේ පෞද්ගලික ඇඟලුම් ආයතනයක සේවය කර ඇති අතර, පසුව තරුණ සේනාංක හා එක්ව ස්වෙච්ඡා කටයුතුවල නිරතව ඇතැයි ඇගේ ඥාතීන් පවසයි. දිලිනි යශෝමා ජයසූන්දර නැමති ඇය ඝාතනයට ලක්වන විට 30 හැවිරිදි වියේ පසුවිය. දිලිනිගේ සහෝදරයා කුරුවිට ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරයෙක් වේ.
දිලිනිගේ මරණය පිළිබඳ මේ වන විට එම ප්‍රදේශයේ ජනතාව දැඩි ලෙස කම්පාවට ලක්ව ඇති අතර, දීර්ඝ කාලයක සිට අසනීප තත්ත්වයෙන් පසුවන ඇයගේ මව මේ පිළිබඳ කිසිදු තොරතුරක් නොදනී. කුඩා කළ සිට දිලිනිව රැකබලා ගත් ඥාති කාන්තාව මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියේ මෙවැන්නකි.
“අම්මා විතරයි ඉන්නේ තාත්තා නෑ. මරණය ආරංචි වුණේ ටීවි එකෙන්. පස්සේ පොලීසියෙන් ඇවිල්ලා තිබුණා ගෙදරට. අයිය යි එයයි විතරයි ඉන්නේ. ඊට පස්සේ පුතා කොළඹ ගියා. අඳුර ගන්න පුළුවන් වෙයි ද දන්නේ නෑ හිස නෑලු. අපිට එහෙම වෙයි කියලා අපි හිතුවේ නෑ. අම්මා ලෙඩ ගානේ ඉන්නේ. අම්මට කල්පනාවක් එහෙම නෑ. සිරිපාදේ ගිහින් එනකල් අම්මා බලාගෙන ඉන්නේ. අම්මට අපි තාම කිව්වේ නෑ. මම තමයි පොඩි කාලේ ඉදලම දරුවන් දෙන්නාව හදාගත්තේ. තාත්තා නැතිවෙලා අවුරුදු 20ක් වෙනවා. “ දිලිනිගේ මව තවමත් ඇය සිරිපා වන්දනා කර නිවසට එනතුරු මඟ බලා සිටින්නේ, සියල්ලන්ගේම හදවත් කම්පා කරවමිනි.
පසුගිය මාර්තු 1 වන දින ඇයගේ සිරුර කොළඹ, වේල්ල වීදිය ප්‍රදේශයේ මාර්ගයක් අසල ට්‍රැවලින් බෑගයක දමා තිබිය දී දිලිනිගේ බවට සැක කෙරෙන මළ සිරුරක් පොලීසිය විසින් සොයාගනු ලැබීය. ඒ අනුව පොලීසිය විසින් සිදුකළ විමර්ශනවලදී යම් පුද්ගලයෙක් හංවැල්ලේ සිට එම බෑගය රැගෙන එන අයුරු දැක්වෙන සී.සී.ටීවි දර්ශන ඔස්සේ පරීක්ෂණ පැවැත්විය. ඒ අනුව අද උදෑසන අදාළ ඝාතනය සිදුකළ බවට සැකකෙරෙන බුත්තල පොලීසියේ උපපොලිස් පරීක්ෂකවරයාගේ ගෙල වැලලාගෙන සියදිවි හානිකර ගෙන තිබිය දී බඩල්කුඹුර ප්‍රදේශයේ ඔහුගේ නිවස ආසන්නයේ තිබී සොයා ගත්තේය.