අත්‍යවශ්‍ය නොවන වියදම් නොකරන්නැයි බලපත්‍රලාභී බැංකු වෙත මහ බැංකුවෙන් දන්වයි

Bank
By Thaya Jan 23, 2021 07:26 PM GMT
Thaya

Thaya

Report

2021 ජුනි 30 දින දක්වා කාලය තුළ බලපත්‍රලාභී බැංකු විසින් සිය කොටස් ආපසු මිලදී ගැනීම් සහ අත්‍යාවශ්‍ය නොවන වියදම් සිදුකිරීමෙන් වැළකී සිටිය යුතු බවත් ප්‍රාග්ධන වියදම් සිදුකිරීමේ දී ඉතා විචක්ෂණශීලිව සහ නිසි සැලකිල්ලෙන් කටයුතු කළ යුතු බවත් ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි.

බලපත්‍රලාභී බැංකුවල ලාභාංශ මුදලින් ගෙවීම් ඇතුළු අභිමතානුසාරී ගෙවීම් සම්බන්ධයෙන් විවිධ මත පළ වෙමින් පවතින වාතාවරණය සැලකිල්ලට ගනිමින් ඒ පිළිබඳව මෙම පැහැදිළි කිරීම් සිදුකරන බව මහ බැංකුව සඳහන් කරයි.

2020 මැයි 13 වනදින නිකුත් කරන ලද විධානයක් මගින් කොවිඩ් -19 ව්‍යවසනයේ ව්‍යාප්තිය සමග හටගත් සුවිශේෂි තත්ත්වයන් හමුවේ බලපත්‍රලාභී බැංකුවල ද්‍රවශීලතා සහ ප්‍රාග්ධන මට්ටම් ශක්තිමත් කිරීමේ වැදගත්කම සැලකිල්ලට ගනිමින් බලපත්‍රලාභී බැංකුවල ලාභාංශ මුදලින් ගෙවීම් ප්‍රකාශයට පත්කිරීම, ලාභ මෙරටින් බැහැර කිරීම, තම කොටස් ආපසු මිලට ගැනීම, කළමනාකාරීත්වය සඳහා ගෙවනු ලබන දීමනා වැඩි කිරීම සහ අධ්‍යක්ෂ මණ්ඩල වෙත කරනු ලබන ගෙවීම් ඉහළ දැමීම ආදී අභිමතානුසාරී ගෙවීම් 2020 දෙසැම්බර් 31 දින දක්වා සීමා කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබුණි.

මෙම සීමා කිරීම් යළි සලකා බැලීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කරඇති අතර ඒ අනුව බලපත්‍රලාභී බැංකුවල 2020 වසර සඳහා වන මූල්‍ය ප්‍රකාශන විගණනයට ලක් කිරීමෙන් අනතුරුව ලාභාංශ මුදලින් ගෙවීමට සහ ලාභ මෙරටින් බැහැර කිරීමට 2021 ජනවාරි 19 වන දින නිකුත් කරන ලද විධානය මගින් බලපත්‍රලාභී බැංකුවල වෙත අවසර හිමිවිය.

ඒ අනුව බලපත්‍රලාභී බැංකු විසින් මෙලෙස ලාභාංශ මුදලින් ගෙවීමේ දී සහ ලාභ මෙරටින් බැහැර කිරීමට තීරණය කිරීමේදී පවතින අභියෝගාත්මක වාතාවරණයන් හමුවේ බැංකුවල වත්කම්වල වර්ධනය, ව්‍යාපාර පුළුල් කිරීම සහ කොවිඩ් -19 නිසා වන බලපෑම වැනි දෑ පිළිබඳව සැලකිලිමත් වියයුතු බව ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කරයි.