ජේසුස් වහන්සේගේ උපත සිහිපත් කරන අසිරිමත් නත්තල අදයි... ජනපති සහ අගමැති සුබපැතුම් එක් කරයි.
ජේසුස් ක්‍රිස්තු වහන්සේගේ උප්පත්තිය සිහි කෙරෙන නත්තල කිතුණු ජනතාව අද මහත් බැතියෙන් සමරති.
නත්තල ලොවට ගෙන එන්නේ සාමයේ හා සහජීවනයේ අසිරිමත් පණිවුඩයයි.
අදින් වසර 2020 කට පෙර දිනෙක බෙත්ලෙහෙම් අහස් කුසේ දීප්තිමත් තාරකාවක් පායා තිබුණේ ලොවට බිහිවන ගැලවුම්කරුවාණන් පිළිබඳ සුබ පෙර නිමිති පහළ කරමින්.
ලෝවැසියන් පාපයෙන් මුදා ගැනීමට උපන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සියල්ලන් දුකින් මුදා ගැනීම සඳහා බාධා රැසක් මැද ඉටු කළේ අපරිමිත මෙහෙවරකි.
තමන්ට විමුක්ති මග දෙසූ ඒ ශාස්තෘවරයාගේ උත්පත්තිය ලක්ෂ සංඛ්‍යාත කිතුණු බැතිමතුන් සමරන්නේ මහත් භක්තියෙන්.
ඒ වෙනුවෙන් පැවැත්වෙන ප්‍රධාන දේව මෙහෙය ඊයේ ( 24) රාත්‍රියේ අති උතුම් වූ ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමන් විසින් වතිකානුවේ ශාන්ත පීතර බැසිලිකාවේදී පැවැත්විය.
ඒ, ඔන්ලයින් තාක්ෂණය භාවිතා කරමින්.
මේ අතර නත්තල් දිනය වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කර තිබේ.
ලොව පුරා කෝටි සංඛ්‍යාත කිතුණුවන්ගේ සිත්, දෙවියන් වහන්සේ කෙරෙහි උපන් භක්තියෙන් උද්දීපනය කරන නත්තල ජේසුස් ක්‍රිස්තූන් වහන්සේගේ උපත හා බැඳුණු, පාස්කුවට පමණක් දෙවැනි වන උතුම් ආගමික මංගල්‍යයක් වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
උදා වූ නත්තල වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිතුමා පැවසුවේ, එය ජේසු සමිඳාණන් දේශනා කළ හා පැවැත්මෙන් ප්‍රදර්ශනය කළ සාමය, ප්‍රේමය, කරුණාව, සහජීවනය, සහකම්පනය බඳු ශිෂ්ඨ මනුෂ්‍ය සමාජයේ පදනම නිර්මාණය කරන උත්තුංග සාරධර්ම මූර්තිමත් කරන බවයි.
සමාජයීය වශයෙන් ගත්කළ නත්තල, කිතුණු පවුල් එකට එකතු වෙන තෑගි භෝග හුවමාරු කරගන්නා, නොමනාපකම් අමතක කොට බැඳීම් අලුත් කරගන්නා ප්‍රමෝදජනක අවස්ථාවක් ද වන බව ජනාධිපතිතුමා පවසයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේ, ජේසුස් වහන්සේ දෙසූ ධර්මය සමාජ චිරස්ථිතියට ඉවහල් වන ඉගැන්වීම් සමුදායක් ගැබ් කොට ගන්නා බවයි.
පාපයේ අන්ධකාරය දුරු කොට, නොසලකා හරිනු ලැබූවන්ට සහෝදර හැගීමෙන් පිහිටවීම සහ සමස්ත මනුෂ්‍ය වර්ගයාගේ විමුක්තිය උදෙසා කැපවීම ඒ අතර ප්‍රමුඛ වන බව ජනාධිපතිතුමා පවසයි.
කොවිඩ් – 19 වසංගතය හමුවේ ආර්ථික, සාමාජයීය හා සංස්කෘතික වශයෙන් අකර්මන්‍ය වූ ලෝකය යළි පුබුදු කිරීමට එම ධර්මය උපයෝගි කොට ගත හැකි බව ද ජනාධිපතිතුමා සඳහන් කළේ ය.
මේ අතර නත්තල ජේසුස් වහන්සේගේ ඉපදීමත්, දෙවියන් වහන්සේ මානව සංහතිය කරා සම්ප්‍රාප්ත වීමත් සිහිගන්වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
නත්තල දිනය වෙනුවෙන් පණිවුඩය නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා පැවසුවේ, එය ප්‍රේමය සහ මානව ගරුත්වය සැමරුමක් ලෙස සිහිගන්වන සුබාරංචිය බවයි.
මෙම උතුම් දිනයේදී සාමයේ හා දයාවේ පණිවුඩය අප හදවත් තුළ තහවුරු විය යුතු බව ද අග්‍රාමාත්‍යවරයා පවසයි.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසුවේ, දිළිඳුන් මෙන්ම දරුවන් සොයා යමින් ඔවුන් සමග නත්තල ගත කරන්නට අධ්‍යාත්මිකව සිත යොමුකරන ගැඹුරු දහමක් නත්තල හා බැඳී පවතින බවයි.