දෙමළ පක්ෂ නියෝජිතයින් සහ ඉන්දීය මහකොමසාරිස්වරයා අතර හමුවක්
දෙමළ පක්ෂ නියෝජිතයන් කිහිපදෙනෙකු ඊයේ මෙරට ඉන්දීය මහකොමසාරිස්වරයා හමු වී තිබෙනවා.
උතුර පළාත් හිටපු මහඇමති පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් ඇතුළු නියෝජිතයින් පිරිසක් ඊට එක්ව සිටියා.
උතුර පළාත ඇතුළු ශ්‍රී ලංකාවේ සංවර්ධනය උදෙසා ඉන්දියාවේ අඛන්ඩ කැපවීම මෙහිදී මහකොමසාරිස්වරයා අවධාරණය කර තිබෙනවා.
ඉන්දු - ශ්‍රී ලංකා සබඳතා පිළිබඳව ද දෙපාර්ශවය අදහස් හුවමාරු කර ගත් බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය ට්විටර් සටහනක් තබමින් සඳහන් කළා.
ඉන්දියාවේ නියෝජ්‍ය මහකොමසාරිස්වරයා ද පෙරේදා දිනයේදී ඉලංගෙයි තමිල් අරුසු පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා හමුව තිබුණා.
උතුරු නැගෙනහිර සංවර්ධනය පිළිබඳව මෙන්ම 13 වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම තුලින් අර්ථවත් බලය බෙදීමක් සම්බන්ධයෙන් ද එහිදී අවධානය යොමුවූ බවයි ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළේ.
මේ අතර, ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ඇලයිනා ටෙප්ලිට්ස් උතුරේ සංචාරයක නිරත වී ඇති අතර, පසුව ඇය ට්විටර් සටහනක් තබමින් ප්‍රකාශ කර තිබුණේ ප්‍රදේශයේ ජනතාව තවමත් ඔවුන්ගේ ගැටලුවලට විසඳුම් සොයමින් සිටින බවයි.
අතුරුදන්වූවන්ගේ පවුල් සම්බන්ධයෙන් ද ඇය අදහස් දක්වා තිබූ අතර, ලක් රජය වින්දිතයන්ගේ පවුල්වලට සහ ඔවුන්ගේම කොමිෂන් සභාවල නිර්දේශයන්ට ගරු කළ යුතු බව ද එහි සඳහන්.