''බටහිර ජැටිය සංවර්ධනය ගැන ශ්‍රී ලංකා රජය කළ ප්‍රකාශය නිවැරදි නැහැ''

Government Sri Lanka
By Thaya Mar 07, 2021 08:54 PM GMT
Thaya

Thaya

Report

කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා ඉන්දියාවේ අදානි සමාගම ඉදිරිපත් කළ යෝජනාවට කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ එකඟතාව ලැබී ඇති බවට ශ්‍රී ලංකාව කළ ප්‍රකාශය නිවැරදි නොවන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි. ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවති මාධ්‍ය හමුවක් අමතමින් එම අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක අනුරාග් ශ්‍රිවාස්තව මේ බව සඳහන් කළේ ය. ඔහු එහි දී වැඩි දුරටත් සඳහන් කළේ, අදාළ ආයෝජන ව්‍යාපෘතිය සඳහා මෙරට රජය ඉන්දියාවේ අදානි සමාගම සමග සෘජුව සම්බන්ධ වී ඇති බව තම වැටහීම බවය.

කොළඹ දකුණු වාරයේ බටහිර බහලුම් පර්යන්තය (WCT) ඉන්දියාවේ අදානි සාමාගම හා එක්ව රාජ්‍ය-පෞද්ගලික ව්‍යාපාරයක් ලෙස සංවර්ධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බව ශ්‍රී ලංකා රජය ඉකුත් 2 වන දා පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සඳහන් කළේ ය. අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් ජනමාධ්‍ය අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ, ආයෝජකයින් නම් කරන ලෙස ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සහ ජපාන තානාපති කාර්යාලයෙන් ඉල්ලීමක් කළ ද ජපන් රජය විසින් කිසිදු ආයෝජකයෙකු නම් කර නොමැති බවය.

කෙසේ වෙතත්, Adani Ports & SEZ ඉදිරිපත් කළ යෝජනාව සඳහා ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ එකඟතාව ලැබී ඇති බව ඔහු සඳහන් කළේ ය. ඒ අනුව, වසර 35ක කාලයක් සඳහා ඉන්දියාවේ Adani Ports & SEZ, එම සමාගමේ දේශීය නියෝජිත වන John Keells Holdings සහ වරාය අධිකාරිය එක්ව රාජ්‍ය පෞද්ගලික ව්‍යාපාරයක් ලෙස වසර 35ක කාලයක් සඳහා සංවර්ධනය කොට ක්‍රියාත්මක කර ආපසු භාර දීමේ පදනම යටතේ බහලුම් පර්යන්තය සංවර්ධනය කිරීමට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

මේ අතර ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශයෙකු සඳහන් සඳහන් කළේ, ශ්‍රී ලංකා රජය ගත යුතු තීරණයකදී ඊට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ අනුමැතිය ලබා ගැනීමක් අවශ්‍ය නොවන බවය. එම ප්‍රකාශකයා අවධාරණය කළේ, අදාළ තීරණය ශ්‍රී ලංකා රජය විසින් ගත යුත්තක් බවය. එමෙන් ම, අදාළ තීරණය ශ්‍රී ලංකා රජය විසින් ගත යුත්තක් බවත් ඔහු එහිදී අවධාරණය කළේ ය.