බහුජාතික සමාගමක් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි...

srilanka politics mahinda amarawera
By Nimal May 13, 2021 04:29 AM GMT
Nimal

Nimal

Report

 ශ්‍රී ලංකාවේ පොලිතීන් හා ප්ලාස්ටික් භාවිතය අවම කිරීම සඳහා රජය විසින් ක්‍රියාත්මක කර තිබෙන වැඩ පිළීවෙළ අනුව පසුගිය මාර්තු මස 31 දින සිට පොලිතීන් හා ප්ලාස්ටික් ආශ්‍රිත නිෂ්පාදන වර්ග 05ක් පරිසර අමාත්‍යාංශය විසින් තහනම් කරනු ලැබීය.

පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් අමාත්‍ය මණ්ඩල අනුමැතිය පරිදි ඒ සඳහා විශේෂ ගැසට් පත්‍රයක් ද නිකුත් කරන ලදී. ඒ යටතේ මෙරට පරිසර දූෂණයට ඉහළ දායකත්වයක් ලබා දෙන ග්‍රෑම් 20ට අඩු සැෂේ පැකට් නිෂ්පාදනය මාර්තු 31 දින සිට තහනම් විය. එසේ වුවද එම සමාගම් සතු නිෂ්පාදනය තොග අලෙවි කර ගැනීමට අවශ්‍ය බැවින් මාස තුනක සහන කාලයක් ද පරිසර අමාත්‍යාංශය විසින් ලබා දුන්නේය.

නමුත් එම තහනම නොසළකා හරිමින් එක්තරා බහුජාතික සමාගමක් එතෙක් ඔවුන් විසින් නිෂ්පාදනය නොකරන ලද ග්‍රෑම් 24 සැෂේ පැකට් 04 බැගින් වන සැෂේ පැකට් පැක් එකක් වශයෙන් වෙළෙඳ පොළට නිකුත් කරන ලදී. ඔවුන් විසින් රජයේ තීරණය නොසළකා හැර ගත් පියවර සම්බන්ධව වහාම ඔවුන්ගේ පරිසර බලපත් තහනම් කරන ලෙසත්, එම ආයතනය වහාම පරීක්ෂාවට ලක් කරන ලෙසත් අමාත්‍යවරයා විසින් මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් දෙනු ලැබීය.

මේ අතර එම බහුජාතික සමාගමේ ඉහළ නිලධාරින් පිරිසක් අමාත්‍යවරයා හමුවී තම සමාගමට ග්‍රෑම් 24 සැෂේ පැකට් නිපදවීමට අවසර දෙන්නැයි අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය. මෙම හමුවීම පසුගියදා පරිසර අමාත්‍යාංශයේ දී සිදුවිය. එහෙත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා රජය විසින් නිකුත් කළ ගැසට් නිවේදනය අනුව කටයුතු කරන ලෙස ඔවුන්ට දැනුම් දුන්නේය.

අප රටේ වැව්, ගංගා, ඇළදොළ ආදි ජල පද්ධතියට විශාල හානියක් මෙම හිස් සැෂේ පැකට් පරිසරයට මුදා හැරීම නිසා සිදුවන බව පැහැදිළි කළ අමාත්‍යවරයා මෙම තීරණය ගන්නා ලද්දේ නිෂ්පාදන සමාගම් අකර්මණ්‍ය කිරීමට නොවන බවත් පරිසරය සුරැකීම මහජන සෞඛ්‍යාරක්ෂාව සඳහා බවත් කීය. එමෙන්ම ගැසට් පත්‍රය මගින් දී ඇති විකල්ප ක්‍රියාත්මක කරන ලෙසත්, මේ රටේ පරිසරය හා ජනතාව සුරැකීමේ වගකීමක් බහුජාතික සමාගම් සතුව ද ඇති බව වටහා ගන්නා ලෙසත් සඳහන් කළේය.

රජයේ වැඩ පිළීවෙළට ඔවුන් සහයෝගය ලබා දිය යුතු බවත්, එසේ නොදෙන්නේ නම් පරිසර හිතකාමී සැෂේ පැකට් නිෂ්පාදනයට දේශීය සමාගම්වලට අවශ්‍ය සහන ලබා දීමට පියවර ගන්නා බවත් දැනුම් දෙනු ලැබීය. කෙසේ වුවද පසුගිය දශක කිහිපය තුළ මෙම සමාගම් සැෂේ පැකට් අලෙවියෙන් විශාල ආදායමක් උපයා ඇතත්, ඉන් සියයට 01ක් හෝ මෙරට පරිසර දූෂණය වළක්වා ගැනීම සඳහා වන පරිසර ප්‍රවර්ධන වැඩ සටහන් සඳහා වැය කර නැති බව ද මෙහිදී අවධාරණය විය.

එමෙන්ම රජය විසින් නිකුත් කළ පොලිතින් හා ප්ලාස්ටික් තහනම් කිරීම පිළිබඳ රජයේ ගැසට් පත්‍රය නොසළකා හරිමින් කටයුතු කළ එම සමාගම වෙනුවෙන් නීතිමය පියවර ගන්නා ලෙස තමන් මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් ලබා දුන් බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.