පර්යේෂණාගාරයක් ආනවිලුන්දාවේ ඉදි කිරීමට බ්‍රිතාන්‍ය රජයේ සහය .....

srilanka mihinda amarawera anavilundawa
By Nimal May 12, 2021 04:39 AM GMT
Nimal

Nimal

Report

 මෙරට කඩොලාන පිළිබඳ පුළුල් පරීක්ෂණ සිදු කිරීම සඳහාත් , කඩොලාන ආශ්‍රිත උද්‍යානයක් ඉදි කිරීම සඳහාත් බ්‍රිතාන්‍ය රජයේ සහයෝගය පළ කර ඇතැයි පරිසර ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා,මෙම අදහස් පළකලේ ඊයේ (11) පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාත් මෙරට බ්‍රිතාන්‍ය මහකොමසාරිස් Sarah Hulton මහත්මිය ඇතුළු පිරිසක් සමග කළ සාකච්ඡාවක ප්‍රථිපලයක් ලෙසය.

මෙම සාකච්ඡාව Zoom තාක්ෂණය යොදා ගනිමින් පැවැති අතර විශේෂයෙන් මෙම වසර අවසානයේ ග්ලාස්ගෝ නගරයේ පැවැත්වෙන COP 26 – UN Climate Change Conference (COP 26) – Glasgow 21සම්මන්ත්‍රණය සම්බන්ධව ද සාකච්ඡා කළේය. ලොව පරිසර සංරක්ෂණය උදෙසා පැවැත්වෙන දැවැන්තම සම්මන්ත්‍රණය මෙය වන අතර මෙවර එහි ප්‍රධාන තේමාව වන්නේ දේශගුණ විපර්යාස - Climatic Change බව මෙහිදී සාරා හූල්ටන් මහත්මිය පැවසුවාය.

එහිදී විශේෂයෙන් ශ්‍රී ලංකාව පාර්ශ්වයෙන් ඉදිරිපත් කරන කරුණු සම්බන්ධව ද මෙහිදී අදහස් හුවමාරු කර ගන්නා ලදී. මෙහිදී අදහස් පළ කළ පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ශ්‍රී ලංකාවේ පරිසර සංරක්ෂණයට බ්‍රිතාන්‍ය රජය විසින් ලබා දෙන සහයෝගය ඇගයීමට ලක් කළේය.

විශේෂයෙන්ම මෙරටට ආවේණික කඩොලාන පරිසර සංරක්ෂණය සඳහා සහයෝගය ලබා දෙන ලෙස ද ඉල්ලීමක් කළේය. පුත්තලම ආනවිලුන්දාව සුමුදුගම ආශ්‍රිතව කඩොලාන පර්යේෂණාගාරයක් ඉදි කිරීමටත්,සංචාරකයින් හා කඩොලාන පිළීබඳ අධ්‍යාපනය හදාරණ මෙන්ම පර්යේෂණ සිදු කරන පුද්ගලයින්ගේ ආකර්ශණය සඳහා කඩොලාන උද්‍යානයක් එම ප්‍රදේශයේ ස්ථාපිත කිරීමට බ්‍රිතාන්‍ය රජයේ සහයෝගය ලබා දෙන බව මහකොමසාරිස්වරිය ප්‍රකාශ කළාය.

එමෙන්ම ඉන්දියාව විසින් මුහුදට බැහැර කරන ප්ලාස්ටික් හා පොලිතීන් අපද්‍රව්‍ය මුහුදු රළ ඔස්සේ කල්පිටිය හා මන්නාරම මුහුදු කළාපයට පැමිණීම නිසා මෙම ප්‍රදේශවල මුහුදු ජලයේ අඩංගු ක්ෂුද්‍ර ප්ලාස්ටික් සම්බන්ධව අවධානය යොමු කරමින් ඒ සඳහා විදිමත් පර්යේෂණයක් සිදු කිරීමට කටයුතු කරනු ඇතැයි අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.

බ්‍රිතාන්‍ය රජය විසින් ඒ සඳහා ද සහයෝගය ලබා දෙන බව මහකොමසාරිස්වරිය ප්‍රකාශ කළාය. එමෙන්ම COP 26 සම්මන්ත්‍රණයේ දී ශ්‍රී ලංකාවේ පසෙහි නයිට්‍රජන් මට්ටම සම්බන්ධව ද අවධානය යොමු කිරීමට මෙහිදී සාකච්ඡා කරන ලද බව විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.