පරිසරයට අදාල සියලුම යෝජනා ක්‍රියාත්මක කිරීමට අමාත්‍යාංශ නිලධාරින්ට උපදෙස් ....

srilanka mahinda amarawera climate change
By Nimal Apr 30, 2021 05:39 AM GMT
Nimal

Nimal

Report

 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා ඉදිරිපත් කළ අති විශේෂ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට අදාලව පරිසරය වෙනුවෙන් නිර්දේශ වැඩ සටහන් සියල්ල වහාම ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (29) පරිසර අමාත්‍යාංශයේ නිලධාරින්ට උපදෙස් දුන්නේය.

 ජනාධීපතිතුමන් සමග විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ඊයේ (29) පස්වරුවේ පැවැත්විනි. ඊට පරිසර අමාත්‍ය මහින්ද අමරවීර හා අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහත්වරු සහභාගි වූහ.

මෙහිදී පරිසර අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කර තිබෙන “හුස්ම දෙන තුරු” ජාතික රුක්රෝපණ වැඩ සටහන යටතේ ක්‍රියාත්මක කළ වැඩ පිළීවෙලෙහි ප්‍රගතිය ජනාධිපතිතුමන් සමග පැවසු බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

හුස්ම දෙන තුරු ජාතික රුක්රෝපණ වැඩ සටහන යටතේ මේ වනවිටත් පැළ 1,27,000ක් පසුගිය මාස හතරට රෝපණය කර තිබේ. අප්‍රේල් 16 අවුරුදු රුක්රෝපණ නැකත යටතේ ක්‍රියාත්මක කළ “නැකතට පැළයක්” වැඩ සටහන යටතේ පැළ ලක්ෂ 15කට ආසන්න ප්‍රමාණයක් දිවයින පුරා මහජනතාව එකම මොහොතක් තුළ රෝපණය කළ බවට වාර්තා වන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

“දේශගුණීක විපර්යාසයන්ට තිරසාර විසඳුම් සහිත හරිත සමාජ- ආර්ථික රටාවක් කරා” ජනපති වැඩ පිළිවෙළේ අඩංගු වගන්ති 20න් 13ක් ම මේ රටේ පාරිසරික සංවර්ධනය ඉළක්ක කර ගනිමින් ඉදිරිපත් කර තිබේ. එහි ඇතැම් කාරණා මේ වනවිටත් අමාත්‍යාංශය විසින් රජයේ මුදල් රුපියලක් හෝ වැය නොකර ඉටු කර ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම ජනපති පාරිසරික හා කෘෂිකර්ම සංවර්ධන ප්‍ර වේශය තුළ වන ඝනත්වය වැඩි කිරීම සඳහා රක්ෂීත ප්‍ර දේශවල පදිංචිකරුවන් සුදුසු ස්ථානවල පදිංචි කරවා වන ඝනත්වය ඉහළ නැංවීම, ජාතික යටිතල පහසුකම් සංවර්ධනයේ දී පරිසර සංරක්ෂණය මුළින් සිදු කර එම වැඩ සටහන් ක්‍රියාත්මක කිරීම, නාගරික නිවාස හා ගොඩනැගිලි ඉදි කිරීමේ දී පරිසර හිතකාමී නිර්මාණයන් අනිවාර්ය කිරීම, දැනටමත් තහනම් කර ඇති ප්ලාස්ටික් භාවිතය තවදුරටත් අවම කිරීම කඩිනම් කිරීම, රසායනික ආනයනයන් සීමා කිරීම හා ක්‍රමාණුකූලව අඩු කිරීම, ද ඇතුළත්ය.

එමෙන්ම විල්පත්තුව, හබරණ විගල්ගම, යාල ප්‍රදේශ සම්බන්ධවන අලින්ගේ ගමන් මාර්ග යළි සකස් කිරීම හා එම මාර්ග අවහිර වන සේ පදිංචි වී ඇති පදිංචිකරුවන් සුදුසු නේවාසික පරිසරයක් තුළ පදිංචි කරවීම හා වන අලි මාර්ග දෙපස අලිවැට හා අගල් ඉදි කිරීම ද ඇතුළත් වේ. පාසැල් අධ්‍යාපන විෂය ක්ෂේත්‍රය හා බාහිර ක්‍රියාකාරකම්වල දී පරිසර හා ජෛව විවිධත්ව මුල් කර ගත් වැඩ සටහන් ක්‍රියාත්මක කිරීම, ජාතික නිෂ්පාදන හා සේවා ගිණුම්ගත කිරීමේ දී පරිසර සංවර්ධනය ගණනය කිරීම සඳහා සංඛ්‍යා ලේඛණ තොරතුරු පද්ධතිය පුළුල් කිරීම, කැළිකසල යොදාගනිමින් කෙරෙන වැඩ සටහන් ක්‍රියා ත්මක කිරීම, පරිසර හිතකාමී වැඩ සටහන් ජනතාව තුළ පුළුල් කිරීම සඳහා ජනමාධ්‍ය දිරිගැන්වීම, පරිසර පද්ධති බල ගැන්වෙන පරිදි ඉඩම් පරිහරණ සැලසුම් සකස් කිරීම වශයෙන් මෙහි යෝජනා රැසක් පරිසරය ඉළක්ක කර ගනිමින් ජනාධිපතිතුමන් විසින් යෝජනා කර තිබේ.

එමෙන්ම වායුගෝලය දූෂණය කරන පොසිල ඉන්ධන බලයෙන් ක්‍රියාත්මක කෙරෙන වාහන භාවිතය අවම කර විදුලිබලයෙන් ක්‍රියාත්මක කෙරෙන වාහන භාවිතය දිරි ගැන්වීම මෙන්ම වී වගා කෙරෙන කුඹුරු යායවල් අසල මී ගස් වගා කිරීම හා ජල පෝෂක ප්‍රදේශවල හා ගංගාධාර ආශ්‍රිතව කුඹුක් පැළ රෝපණය ජනප්‍රිය කරවීම ද සිදු කෙරේ.

දැනටමත් පරිසර අමාත්‍යාංශය මීට අදාලව පියවර රැසක් ගෙන ඇති බැවින් මෙම කටයුතු වේගවත් කිරීම සඳහා නව වැඩ සටහන් තමන් වෙත ඉදිරිපත් කරන්නැයි ද අමාත්‍යවරයා නිලධාරින්ට උපදෙස් දෙනු ලැබීය.