යෝගට් කෝප්ප ටොන් 100 ක් පරිසරයට ....

srilanka nature mainda amarewera
By Nimal Jul 26, 2021 05:04 AM GMT
Nimal

Nimal

Report

අප රටේ වාර්ෂිකව භාවිතයෙන් පසු පරිසරයට හිස් ප්ලාස්ටික් යෝගට් කෝප්ප ප්‍රමාණය ටොන් 96- 100ත් අතර ප්‍රමාණයක් පරිසරයට බැහැර කරනවන බව පරිසර ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

යෝගට් කෝප්ප විදිමත් පරිදි ප්‍රතිචක්‍රියකරණය සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව දැනට යෝගට් කෝප්ප ප්‍රතිචක්‍රියකරණය කරන ආයතන කිහිපයක් සමග පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පසුගිය සතියේ සාකච්ඡාවක් පවත්වනු ලැබීය. එම සාකච්ඡාවේදී අනාවරණය වු කරුණු අතර භාවිතයෙන් පසු බැහැර කරන හිස් යෝගට් කෝප්පවලින් ප්‍රතිචක්‍රියකරණය සඳහා නැවත එකතුකරනු ලබන්නේ සියයට 07ක් පමණි. ඉතිරි සියයට 93ම එක්කෝ පරිසරයට බැහැර කරන අතර ඇතැම් පිරිස් ඒවා ගිනිතබා විනාශ කරනු ලබති. එමෙන්ම යෝගට් කෝප්ප හා ඒ සමාන ප්ලාස්ටික් කෝප්ප මාසිකව මිලියන 45ක් පමණ පරිසරයට එක්කෙරෙන බව ද අනාවරණය විය.යෝගට් කෝප්ප ටොන් 100 ක් පරිසරයට .... | Srilanka Nature

යෝගට් නිෂ්පාදනයේ දී ඒ සඳහා ප්ලාස්ටික් කෝප්ප භාවිතා කිරීම තහනම් කළ නොහැක්කේ ඊට විකල්පයක් මෙතෙක් හඳුනා ගෙන නොමැතිවීම නිසා බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. යෝගට් යනු අවම මිලකට ලබා ගත හැකි ඉහළ පෝෂ්‍යදායි ආහාරයක් නිසා ඒ සඳහා යොදාගන්නා ප්ලාස්ටික් කෝප්ප තහනම් කළහොත් යෝගට් නිෂ්පාදකයින් දැඩි අපහසුතාවයකට ලක් වන බවත්, වෙනත් විකල්පයක් නොමැති නිසා ඇතැම් විට එම කර්මාන්තය කඩා වැටීමට ඉඩ ඇති බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

එමනිසා යෝගට් කප් සඳහා ප්ලාස්ටික් කෝප්ප යොදා ගැනීම තහනම් නොකෙරෙන අතර ඒවා ආහාරයට ගැනීම සඳහා භාවිතා කරන ප්ලාස්ටික් හැඳි තහනම් කිරීමට නියමිතය. දැනටමත් තහනම් කිරීම සඳහා යෝජිත ප්ලාස්ටික් නිෂ්පාදන 08ක ලැයිස්තුවක් සහිත අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් යොමු කර තිබේ.

එහි යෝගට් කෑමට යොදා ගන්නා ප්ලාස්ටික් හැඳි ඇතුළත්ය. එම අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව අනුව ඉදිරියේ දී ප්ලාස්ටික් හැඳි, ගෑරුප්පු, ප්ලාස්ටික් කොප්ප, ආහාර කළතන ආදිය තහනම් කිරීමට යෝජිතය. කෙසේ වුවද යෝගට් කෝප්ප මෙන්ම සියලු පොලිතීන් හා ප්ලාස්ටික් නොසැළකිළිමත් ලෙස ගිනි තැබීම මගින් විශාල පාරිසරික හා සෞඛ්‍යමය වශයෙන් ද හානිදායක බව මෙහිදී අනාවරණය විය. පිළිකාකාරක වායුන් ලෙස හඳුනාගෙන තිබෙන Dioxin හා Furan වායු, ඉවතලන පොලිතීන් හා ප්ලාස්ටික් ගිනි තැබීම නිසා බහුල වශයෙන් වායු ගෝලයට එක්වේ. ඒවා අවශෝෂණය වීමෙන් පෙනහළු පිළිකා මෙන්ම චර්ම රෝග ද,ශ්වසන ආබාධවලට ගොදුරුවීමේ අවදානම ද ඉහළ යන බව හඳුනාගෙන තිබේ.

ඉවතලන යෝගට් කෝප්ප ප්‍රතිචක්‍රියකරණය සඳහා මිල දී ගන්නා සමාගම් රැසක් දැනටමත් අපේ රටේ තිබේ. එම නිසා හිස් යෝගට් කෝප්ප ගිනි තැබීම හෝ පරිසරයට බැහැර නොකර අමතර මුදලක් ඉපයීමට මහජනතාවට හැකියාව ඇති බවත් එම ප්‍රතිචක්‍රියකරණ සමාගම්වල නියෝජිතයින් පෙන්වා දුන්නේය. එමනිසා මේවා මිල දී ගැනීමේ මධ්‍යස්ථාන ප්‍රමාණය වැඩි කිරීමේ වැඩ පිළිවෙළක් ආරම්භ කිරීමට මෙහිදී යෝජනා විය. ඒ අනුව ඉදිරියේ දී නැවත වරක් එම ආයතනවල නියොජිතයින් කැඳවා පාවිච්චි කරන ලද යෝගට් කෝප්ප ප්‍රතිචක්‍රියකරණය සඳහා පාරිභෝගිකයින් දැනුම්වත් කිරීමේ වැඩ පිළිවෙළ පුළුල් කිරීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කළේය.