කොළඹින් පිටවන ආසාදිතයින් සොයා විශේෂ මෙහෙයුම්...රාජ්‍ය හෝ නොවන ආයතන 7,828ක් පරීක්ෂා කෙරේ.

Covid-19 Police Ajith Rohana Western Province
By Thaya Jan 29, 2021 06:47 AM GMT
Thaya

Thaya

Report

නිරෝධායනයට අදාළ මෙහෙයුම් තවදුරටත් බස්නාහිර පළාතේ සහ ඉන් පිටත පළාත්වල ක්‍රියාත්මකවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

බස්නාහිර පළාත තුළ අද (28) දිනයේදී විශේෂ මෙහෙයුම් රැසක් ක්‍රියාත්මක වේ.

ඒ අනුව බස්නාහිර පළාතෙන් පිටතට ගමන් කරන පුද්ගලයින් රැපිඩ් ඇන්ටිජන් හෝ PCR පරීක්ෂණ සඳහා ස්ථාන 12කදී යොමු කිරීමට සැලසුම් කර තිබේ.

එළෙස සිදුකෙරෙන රැපිඩ් ඇන්ටිජන් සහ PCR පරීක්ෂණ සඳහා බස්නාහිර පළාතෙන් පිටතට ගමන් කරන ජනතාව සෞඛ්‍ය අංශ වෙත සහය ලබාදිය යුතු බවද අජිත් රෝහණ මහතා පැවසීය.

බස්නාහිර පළාතේ හඳුනාගත් පොදු ස්ථාන, සති පොළ, මාළු අලෙවිකරණ ස්ථාන, එළවළු අලෙවිකරණ ස්ථාන සහ අනෙකුත් ආර්ථික මධ්‍යස්ථාන ආශ්‍රිතව පුද්ගලයින් ඇන්ටිජන් හෝ PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමේ මෙහෙයුම්, කොළඹින් පිටත්වන බස්රථවල මගීන් පරීක්ෂා කිරීමේ මෙහෙයුම් ද තවදුරටත් ක්‍රියාත්මකය.

සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් කඩ කරමින් පවත්වාගෙන යනු ලබන රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන පරීක්ෂා කිරීම්ද අඛණ්ඩව සිදුකෙරෙන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා දැනුම් දෙයි.

බස්නාහිර පළාත තුළ ඊයේ (27) දින සිදුකළ ආයතන පරීක්ෂා කිරීම්වලදී සෞඛ්‍ය උපදෙස්වලට පටහැනිව කටයුතු කළ ආයතන 71ක් හඳුනාගෙන නඩු පැවරීමට පියවර ගෙන ඇත.

පසුගිය 10 වනදා සිට ආරම්භ වූ මෙම මෙහෙයුම්වලදී බස්නාහිර පළාත තුළ මේ දක්වා රාජ්‍ය හෝ රාජ්‍ය නොවන ආයතන 7,828ක් පරීක්ෂා කර ඇත. ඉන් ආයතන 1160ක් සෞඛ්‍ය උපදෙස් කඩකරමින් කටයුතු කරඇති බවට හඳුනාගෙන තිබුණි.

ගතවූ පැය 24 තුළ මුඛ ආවරණ නොපැළඳ සිටි පුද්ගලයින් 16ක් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය ඔක්තෝබර් 30 සිට මේ දක්වා එම වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන ඇති මුළු සංඛ්‍යාව 2808කි.