සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ගෙන් විශේෂ දැනුම් දීමක්.

Covid-19
By Thaya Jan 13, 2021 06:39 PM GMT
Thaya

Thaya

Report

උත්සව සමයේ නෑදැ ගමන් සහ විනෝද චාරිකා යන පිරිස්, අහඹු පරීක්ෂණවලට ලක් කිරීමට කණ්ඩායම් යොදවා ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා.

එමෙන්ම, කොවිඩ් වසංගතයේ ආරම්භයේ සිට ඊයේ වන (12) තෙක් පී.සී.ආර් පරීක්ෂණ 1,427,366 ප්‍රමාණයක් සිදුකර ඇති බවත් ඒ මහතා පැවසීය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව පැවසුවේ අද (13) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී ප්‍රකාශයක් නිකුත් කරමිනි.

තෛයිපොංගල් උත්සවය සමග දීර්ඝ නිවාඩුවක් තිබෙන බැවින් නිවෙස්වලටම වී තෛපොංගල් උත්සවයත් අනෙක් උත්සව සැමරූ අයුරින් සමරන ලෙසත්, කොවිල් වැනි ස්ථානවලට ඒකරාශී නොවන ලෙසත් ඒ මහතා එහිදි උපදෙස් ලබා දුන්නේය.

උත්සව සමයේ නෑදැ ගමන්, විනෝද චාරිකා සහ ගම්බිමි බලා යන පිරිස්ගේ අහඹු පරික්ෂණ සිදු කිරීමට කොළඹ ස්ථාන 11ක කණ්ඩායම් යොදවා ඇත.

පැය 24 පුරාම මෙම කණ්ඩායම් යෙදවීමට ඉඩකඩ තිබෙන බවත් ඒ මහතා සඳහන් කළේය.

ඊයේ රාත්‍රීයේ කොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් දුර ගමන් සේවා බස් රථ ආශ්‍රිතව සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 100 ක් තුලින් කොවිඩ් වෛරසය ආසාදිතයින් දෙදෙනෙක් හඳුනාගැනීමට හැකි වූ බවත්, අදත් කොළඹින් පිටවන ස්ථාන 11ක රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකිරීමට කටයුතු යොදා තිබෙන බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.