අද සිට ඉදිරි දින කිහිපය ගැන පොලිසියේ සහ හමුදාවේ විශේෂ දැනුම් දීම..

Curfew Police Shavendra Silva Sri Lanka Ajithi Rohana
By Aruna May 25, 2021 02:13 AM GMT
Aruna

Aruna

Report

දිවයින පුරා පනවා තිබූ සංචරණ සීමා අද අලුයම 4 ට ලිහිල් කෙරුණා.

යළිත් අද රාත්‍රී 11 සිට දිවයින පුරා සංචරණ සීමා පැනවෙන අතර එය ජුනි මස 07 වනදා අලුයම 4 තෙක් ක්‍රියාත්මකයි.

කෙසේ වෙතත් ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සදහා ආසන්නතම වෙළදසැල වෙත යාමට අද සහ 31 වනදා මෙන්ම ජුනි 04 වනදා පමණක් සංචරණ සීමා ලිහිල් කිරීමට තීරණය කර තිබෙනවා.

අද සහ සංචරණ සීමා ලිහිල් කෙරෙන සෙසු දිනයන් දෙකේදී විවෘතව තැබීමට අවස්ථාව හිමි වන්නේ සිල්ලර වෙළදසැල් ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ අලෙවිසැල්, මාලු, මස් සහ එළවළු වෙළදසැල්, ඉන්ධන පිරවුම්හල් වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ සහ සේවා සපයන ආයතන පමණයි.

අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට නිවසින් බැහැර යා යුත්තේ එක් අයෙකු පමණක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.

කෝවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ සංචරණ සීමා ලිහිල්කරන අවස්තාවේදි ජනතාව වඩාත් සෞඛ්‍ය ආරක්ෂිතව සිය අත්‍යවශ්‍ය කටයුතු සදහා නිවෙස්වලින් බැහැර විය යුතු බවයි.

සංචරණ සීමා ලිහිල් කෙරෙන අවස්ථාවලදී අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සදහා පා ගමනින් ආසන්තම වෙළදසැල් වෙත පැමිණිය යුතුයි.

ඒ සදහා මෝටර් රථ, ත්‍රීරෝද රථ හෝ යතුරු පැදි භාවිත කළ නොහැකි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ. සංචරණ සීමා ලිහිල් කෙරෙන අවස්ථාවලදී මාර්ගවල, සුපිරි වෙළදසැල් සහ වෙළදසැල් අසල වාහන ගාල් කිරීමද තහනම් වනවා.

සංචරණ සීමා ලිහිල් කරන අවස්ථාවලදී කණ්ඩායම් වශයෙන් වෙළදසැල් වෙත පැමිණීමෙන් වළකින ලෙසයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කළේ.

කෙසේ වෙතත් සාධාරණ හේතුවක් මත රථවාහන භාවිතයට අවසර හිමිවනු ඇති බවත් කොළඹ ඇතුලු ජනාකීර්ණ ප්‍රදේශවල වෙළදසැල් කිහිපයක් වුවද විවෘත කිරීමට අවසර හිමිවනු ඇති බවත් යුද හමුදාපතිවරයා කියා සිටියා.

අද දිනයේදී සංචරණ සීමා ලිහිල් කෙරුණද පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක නොවන බවයි ප්‍රවාහන අමාත්‍යාංශය සදහන් කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now