වෙට්ටු දදා බයික් පැද්ද යතුරුපැදිකරු රක්ෂිත බන්ධනාගාරයට
ආණමඩුව ප්‍රදේශයේදී අපරික්ෂාකාරී ලෙස යතුරුපැදි ධාවනය සම්බන්ධයෙන් තරුණයෙකු අත්අඩංගුවට ගැනීම සිදුවිය. ඒ අනුව අදාළ තරුණයා ලබන 24 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
රථවාහන පාලන හා මාර්ග ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්.පී.ජේ. සේනාධීර මහතා ඔහුව මනෝවෛද්‍යවරයෙක් වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති බව ප්‍රකාශ කළේය.
එහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය පොලිස්පති ඩබ්.පී.ජේ. සේනාධීර මහතා සඳහන් කළේ,
"සමාජ මාධ්‍යයේ වෛරල් වෙච්ච සිද්ධියක්.මට පොලිස්පතිතුමාත් අදාළ වීඩියෝ යොමු කරලා දැනුම් දුන්නා මෙවැනි නොහික්මුණු රියදුරන් වහාම අත්අඩංගුවට ගන්න කියලා. මේක සමාජයට වැරදි පූර්වාදර්ශයක්. මේක ලැබුණට පස්සේ මම අපේ ඩේටාබේස් එක පරිශීලනය කරලා යතුරුපැදි අයිතිකරු කොහෙද ඉන්නේ කියලා අනාවරණ කර ගත්තා. ඊයේ රාත්‍රියේ පැය භාගයක් ඇතුළත පුළුවන් වුණා යතුරුපැදි අයිතිකරු පදිංචි පොලිස් වසමේ ඕ.අයි.සීට කතා කරලා වහාම මෙහෙයුමක් ක්‍රියාත්මක කරලා යතුරුපැදිය සහ පසුපැදිකරු අත්අඩංගුවට ගන්න උපදෙස් දුන්නා. වහාම නවගත්තේගම ස්ථානාධිපති මෙහෙයුමක් දියත් කරලා යතුරුපැදිය මුලින් භාරයට ගත්තා. ඒ අවස්ථාවේදී පැදිකරු හැංගිලා හිටියේ, පැය භාගයකට පස්සේ යතුරුපැදිකරු අත්අඩංගුවට ගත්තා. පසුපැදිකරු සැඟවිලා ඉන්නේ. සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයට තැත් කිරීම සහ අනතුරුදායක ලෙස ධාවනය, අපරීක්ෂාකාරි ලෙස ධාවනය කිරීම යන චෝදනා යටතේ අධිකරණයට ඉදිරිපත් කළා. ලබන 24 දක්වා මේ 19 හැවිරිදි පුද්ගලයා රක්ෂිත බන්ධනාගාර ගත කරන්න පුළුවන් වුණා. අනිවාර්යයෙන්ම තදින් නීතිය ක්‍රියාත්මක කරනවා. විශේෂයෙන් සමාජ මාධ්‍යයට මේ වීඩියෝව යොමු කළ පුද්ගලයින් ස්තූතිවන්ත වෙනවා."
මේ ආකාරයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ, වයස අවුරුදු 19ක් වන නවගත්තේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සිද්ධිය සම්බන්ධව නවගත්තේගම පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතී.