මනාලියන් දෙදෙනෙකු ඇතුළු 6ක් රූපලාන්‍යාගාරයකදී සිහිසුන්වී ඇඳවැටේ

Beauty Salon
By Thaya Jan 16, 2021 06:35 PM GMT
Thaya

Thaya

Report

මීරිගම නගරයේ රූපලාවන්‍යාගාරයකදී ආසාත්මිකතාවක් හේතුවෙන් මනාලියන් දෙදෙනෙකු ඇතුළු 6දෙනෙකු රෝහල් ගතකර ඇතැයි මිරිගම පොලිසිය කියයි.

රූපලාවණ්‍යගාරයේ හිමිකරු, සේවිකාවන් තිදෙනෙකු හා මංගල දිනයේ දෙවැනි දිනය වෙනුවෙන් සැරසෙමින් සිටි මනාලියන් දෙදෙනෙකුට හිසරදයක් ඇති වී සිහිසුන් වී ඇතැයි හෙලිවී ඇත.

විදුලි බලය නොමැති වීම හේතුවෙන් විදුලි උත්පාදක යන්ත්‍රයන ආධාරයෙන් රූපලාවණ්‍යාගාරයේ කටයුතු පවත්වාගෙන යමින් සිටිය දී මෙම සිදුවීම වී ඇතැයි මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇත. එහි වායු සමීකරණ යන්ත්‍ර ද ක්‍රියාත්මකව තිබී ඇති අතර විදුලි ජනක යන්ත්‍රය තිබී ඇත්තේද එම සීමාව ඇතුළත බව හෙළිවූ බව පොලිසිය කියයි.

ඇතුළත තිබූ විදුලි ජනන යන්ත්‍රයෙන් නිකුත්වූ දුම, වායු සමීකරණය මෙන්ම රූපලාවන්‍ය කටයුතු සඳහා භාවිතා කරන රසායන ද්‍රව්‍ය මිශ්‍ර වීම හේතුවෙන් ඇති වූ කිසියම් විස සහිත තත්ත්වයක් මෙම ආසාත්මිකතාවයට හේතු වී ඇතැයි සැක කරන බව මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය. ඔවුනට කාබන් මොනොක්සයිඩ් ආඝ්‍රාණය වී ඇතැයි සැකකරන බව මීරිගම මහජන සෞඛ්‍ය පරීක්ෂක නිශාන්ත සෝමරත්න මහතා සඳහන් කළේය.

සේවිකාවන් හිසරදය පවත්නා බව පැවසීමෙන් පසු ඒ ගැන බැලීමට එහි හිමිකරු පැමිණ ඇතැයි ද මනාළියන් ඇතුළු පිරිස රෝහල් ගත කිරීමේ දී එහි හිමිකරු ද අසනීප තත්වයට පත් වීම හේතුවෙන් රෝහල් ගත කරනු ලැබ ඇතැයි පොලීසිය සඳහන් කරයි.

තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතළ නොවන බවත් අවශ්‍ය වුවහොත් වැඩිදුර ප්‍රතිකාර සඳහා යොමු කරන බවත් මේ පිළිබඳව කළ විමසීමේ දී මීරිගම මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී ජයන්ත අබයරත්න මහතා සඳහන් කළේ ය.

පොලිසිය සඳහන් කළේ මූලික ප්‍රතිකාර ලබා දීමෙන් පසු මනාලියන් දෙදෙනාගේ සැරසීම් කටයුතු කිරීමට හැකියාවක් පැවතිය හැකි බවය. එසේ වුවහොත් අදාල මංගල උත්සව දෙකම කල් දැමීමට සිදුවනු ඇතැයි ද ඇතැයි ද පොලීසිය සඳහන් කළේ ය.

රෝගාතුර වූවන් රෝහල්ගත කිරීමෙන් පසුව ද පොලිසිය හා සෞඛ්‍ය නිලධාරීන්ට අදාල ගොඩනැගිල්ලට ඇතුළුවීමට සෑහෙන වේලාවක් ගත විය.

සිද්ධිය පිළිබඳව මීරිගම පොලිසිය හා මීරිගම මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පරීක්ෂණයක් පවත්වයි.