බස්නාහිර පළාතේ හෙට සිට පාසල් විශාල ප්‍රමාණයක් විවෘත වෙයි. විවෘත වන පාසල් මෙන්න

Colombo Education Schools Western Province
By Thaya Jan 24, 2021 03:00 PM GMT
Thaya

Thaya

Report

හුදකලා කෙරුණු ප්‍රදේශ හැර බස්නාහිර පළාත තුළ ද හෙට (25) සිට අපොස සාමාන්‍ය පෙළ සිසුන් සඳහා පාසල් විවෘතවීමට නියමිතය.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කළේ සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන සිසුන් වෙනුවෙන් බස්නාහිර පළාතේ පාසල් 907ක් හෙට සිට ආරම්භ කිරීමට කටයුතු කරන බවය.

හෙට සිට බස්නාහිර පළාත හැර සෙසු ප්‍රදේශවල උපකාරක පන්ති පැවැත්වීමට ද අවසර හිමිවී තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ සෙසු ප්‍රදේශවල උපකාරක පන්ති නියමකර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් පැවැත්වීමට අවසර ලබා දී ඇති බවය.

කෙසේවෙතත් බස්නාහිර පළාතේ උපකාරක පන්ති ආරම්භ කිරීම තවදුරටත් ප්‍රමාද වන බව ඔහු සඳහන් කළේය.

උපකාරක පන්ති පැවැත්වීමට අදාළ කරුණු ඇතුළත් චක්‍රලේඛය පසුගිය 16 වනදා නිකුත් කෙරුණි.

ඒ අනුව උපකාරක පන්තියකට සහභාගී කරගත හැක්කේ අසුන් ගැනීමට තිබෙන ආසන සංඛ්‍යාවෙන් සියයට 50ක ප්‍රමාණයක් හෝ උපරිම ළමුන් 100 දෙනෙකු දක්වා පමණක් බව අදාළ චක්‍රලේඛයෙන් නිර්දේශකර තිබේ.

එමෙන්ම උපකාරක පන්ති මෙවර විභාගයට පෙනී සිටින අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සඳහා පමණක් විවෘත කරන ලෙස ඉල්ලා සිටින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා වැඩිදුරටත් සදහන් කළේය.


ReeCha