අද සිට සතොසට යන අයට රුපියල් 410ක වාසියක්...මේන්න මේ දේවල් ගන්න පුළුවන්.
අලුත් අවුරුදු සමය වෙනුවෙන් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 12ක් රුපියල් දහසක මිලකට ලක් සතොස හරහා ලබාදීමේ සහන වැඩපිළිවෙළක් අද (01) සිට අරඹන බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය. පෙබරවාරී මාසයේ සිට අත්‍යවශ්‍ය භාණ්ඩ 27ක මිල ස්ථාවරව පවත්වාගෙන යාමට වෙළෙඳ අමාත්‍යංශය පියවර ගනු ලැබු අතර එම සහනය එසේම පවතිද්දි අලුත් අවුරුදු සමය වෙනුවෙන් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 12ක් අද සිට රුපියල් දහසක මිලකට ලක් සතොස හරහා ලබා දීමට වෙළෙඳ අමාත්‍යංශ පියවර ගෙන ඇත. ඒ රතු කැකුළු සහල් කිලෝ ග්‍රෑම් 1ක්, සුදු කැකුළු සහල් කිලෝ ග්‍රෑම් 1ක්, නාඩු සහල් කිලෝ ග්‍රෑම් 1ක්, සුදු සීනි කිලෝ ග්‍රෑම් 1ක්, රතු පරිප්පු කිලෝ ග්‍රෑම් 1ක්, තිරිඟු පිටි කිලෝ ග්‍රෑම් 1ක්, ලුණු පැකට් 1ක්, හාල්මැස්සෝ ග්‍රෑම් 250ක්, කෑලි මිරිස් පැකට් 1ක්, සෝයා මීට් පැකට් 1ක්, තේ කුඩු පැකට් 1ක් සහ මුහුණු ආවාරණයක් එම සහන මල්ලට අයත්ය.
එමගින් පාරිබෝගිකයාට හිමිවන වාසිය රුපියල් 410කි. මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා, “සතොස වැළඳගත් ජනතාවට අවුරුදු දීමනාවක් ලෙස සතොස ආයතනය විසින් සහන මල්ලක් අද සිට ලබාදෙනවා. ඒ තුළින් වෙළෙඳපොළේ පවතින මිලට වඩා රුපියල් 410ක ඉතිරියක් ඇතිවෙන බව තමයි සතොසින් මට දන්වලා තියෙන්නේ. එක් පුද්ගලයෙකුට එක මල්ලක් පමණයි. දේශීය පොල්තෙල් සතොසෙන් ගන්න පුළුවන් පොල් තෙල්වලට ආදේශක වන සෝයා තෙල් රු.160ක් අඩුවෙන් අපි ලබා දෙනවා. “ මේ අතර ඉහළ යන භාණ්ඩ මිලට එරෙහිව සමගි ජන බලවේගය ඊයේ විරෝධතාවක නිතරවිය. ඉහළ යන භාණ්ඩ මිල සහ වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපයට එරෙහිව සමගි ජන බලවේගය ඊයේ මරදාන දුම්රියපොළ ඉදිරිපිට එම විරෝධතාව පැවැත්විය.