මියගිය හා ආබාධිත රණවිරු වැටුප්, යැපෙන්නන්ටත්

Gotabhaya Rajapaksa
By Thaya Apr 09, 2021 06:48 PM GMT
Thaya

Thaya

Report

ආබාධිත රණවිරුවනට දිවි ඇති තෙක් ගෙවනු ලබන වැටුප් සහ දීමනා ඔවුන් මියගිය පසු ඔවුන්ගෙන් යැපෙන්නන්ටත් දිවි ඇති තෙක් ගෙවීම සඳහා අනුමැතිය ලබාගැනීමට සකස් කළ කැබිනට් පත්‍රිකාව දැන් ඇමති මණ්ඩලයට යොමුකර ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේ, ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අද (08) රැස්වූ අවස්ථාවේදීය. ආබාධිත සහ මිය ගිය රණවිරු පවුල්වලට ගෙවන වැටුප් සහ දීමනා පිළිබඳව මෙහිදී සාකච්ඡා වී තිබුණි

මේ අතර, වත්මන් පාර්ලිමේන්තුව පත්වීමෙන් පසු උපදේශක කාරක සභාවේ ප්‍රථම රැස්වීම මෙය වෙයි. ජනාධිපතිවරයා ඊට සහභාගී වූයේ කාරක සභා සභාපති ධූරය විෂයභාර ඇමතිවරයාට හිමිවන බැවිනි. ජාතික ආරක්ෂාව, නීතිය හා සාමය ප්‍රවර්ධනය, රණවිරු වැටුප්, මත්ද්‍රව්‍ය නිවාරණය, ආරක්ෂක අමාත්‍යාංශයට අයත් ආයතනවල වාර්ෂික වාර්තා වැනි විෂයය ගණනාවක් එහිදී සාකච්ඡාවට ලක් විය. ආණ්ඩු පක්ෂයේ මැතිඇමතිවරු සහ විපක්ෂයේ මන්ත්‍රීවරු රැස්වීමට එක්ව සිටියහ.

නීතිය හා සාමය තහවුරු කොට ප්‍රවර්ධනය සඳහා යෝජිත ක්‍රියාමාර්ග ගැන සඳහන් කළ ජනාධිපති රාජපක්ෂ මහතා, අවශ්‍යතාව අනුව රටේ විවිධ ප්‍රදේශවල පොලිස් ස්ථාන 196ක් අලුතින් ස්ථාපනයට සැලසුම් කර ඇතැයි පවසා තිබේ. ඒ සමගම පොලීසියේ පිරිස් බලය වැඩි කිරීම සඳහා ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයෙන්ම 10,000ක් අලුතින් බඳවා ගැනෙනු ඇත.